අාමොස් 1:1-15 SINRV2006 - Bible AI

1මේ වනාහි තෙකෝවා ගම්වැසි එඬේරුන්ගෙන් කෙනෙකු වූ ආමොස් ඉශ්රායෙල් දේශය සම්බන්ධයෙන් දුටු දර්ශන පිළිබඳ පැවසූ වචන වේ. මේ දර්ශන ඔහු දුටුවේ, උශ්ශියා ජුදාහි ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි ද රජ ව සිටි කාලයේ දී, භූමිකම්පාවට දෙවසරකට පෙර ය.

2ආමොස් මෙසේ පැවසී ය: “සමිඳාණෝ සියොන් කන්දේ සිට ගර්ජනා කරති; ජෙරුසලමේ සිට හඬ නඟා ගිගුරුම් දෙති. එවිට එඬේරුන්ගේ තණ බිම් දැවී යනු ඇත, කර්මෙල් කඳු මුදුන වියළී යනු ඇත.”

3සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දමස්කයේ වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් යකඩ කූරු ඇති කුළුගෙඩිවලින් තළා පෙළන්නා සේ ගිලියද් වැසියන් තළා පෙළූ නිසා ඔවුන්ට මම සත්තකින් ම දඬුවම් කරමි.

4සිරියා රාජ්‍යය පිට මම ගින්නක් එවමි. එයින් බෙන්-හදද්ගේ බලකොටු දවා අළු කර දමමි.

5දමස්කයේ වාසල් දොරටු සුණු විසුණු කොට, ආවෙන් මිටියාවතේ වැසියන් හා බෙත්-ඒදන්හි අධිපතියා ඉවත් කරන්නෙමි. සිරියාවේ ජනයා හිරකරුවන් වශයෙන් කීර් දේශයට ගෙනයනු ලබන්නෝ ය.” මේ සමිඳාණන් වහන්සේගේ වචනය වේ.

6සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ගාසාවේ වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, සත්තකින් ම ඔවුන්ට මම දඬුවම් කරමි.

7මම ගාසාවේ පවුරු පිට ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි.

8අෂ්දොද් නගරයේ වැසියන් ද අෂ්කෙලොන් නගරයේ අධිපතියා ද මම නෙරපාදමා, එක්‍රොන් නගරයට පහර දෙමි. ඉතිරි වන පිලිස්තිවරුන් මිය යනු ඇත.” මේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය වේ.

9සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “තීර්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. ඔවුන් ගිවිසගත් මිතුරු ගිවිසුම් ඔවුන් අමතක කර ඇත.

10තීර්හි පවුරු පිට මම ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි.”

11සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් නිර්දය ලෙස ඔවුන්ගේ සහෝදරයන් වන ඉශ්රායෙල්වරුන්ට කඩුවෙන් පහර දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් දෙමි. ඔවුන්ගේ ක්‍රෝධය දිළිහි දිළිහී ද උදහස පැසව පැසවා ද පැවතිණි.

12එබැවින් මම තේමාන් පිට ගින්නක් එවමි. එයින් බොශ්රාහි බලකොටු දවා අළු කර දමමි.”

13සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “අම්මොන්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් තමන්ගේ දේශ සීමාවන් පළල් කරගන්න පිණිස ගිලියද්හි ගැබිණියන් දෙපළු කර දැමූ නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි.

14රබ්බාහි පවුරුවලට මම ගිනි දල්වමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි. යුද්ධ දවසේ දී ගෝරනාඩු ඇති වේ; චණ්ඩ මාරුතයක් සේ යුද්ධය වේගයෙන් පැතිර යනු ඇත.

15ඔවුන්ගේ රජු හා රාජ සෙනෙවියෝ වහල්කමට යන්නෝ ය.” මෙය සමිඳාණන් වහන්සේගේ වචනය වේ.

Ceylon Bible Society
/div>