අාමොස් 2:1-16 SINRV2006 - Bible AI

1සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෝවබ්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් ඒදොම් රජුගේ ඇට කටු දවා හුණු ලබාගත් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි.

2මම මෝවබ් දේශය පිට ගින්නක් එවා කෙරියොත්හි බලකොටු දවා අළු කර දමමි. හේවායන්ගේ ගෝරනාඩුව හා හොරණෑවල බෙරිහන්දීමත් සමඟ යුද්ධ ඝෝෂාව මැද මෝවබ් වැසියන් විනාශ වනු ඇත.

3මෝවබ් රටේ අධිපතියා ද සියලු සෙනෙවියන් ද මම විනාශ කර දමමි.”

4සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජුදා වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව එපා කොට, උන් වහන්සේගේ අණපණත් නොපැවැත්වූ නිසා, මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔවුන්ගේ පියවරුන් වැඳ පිදූ දෙවිවරුන්, ඔවුන් නොමඟ ගෙන ගොස් ඇත,

5ඒ නිසා මම ජුදා පිට ගිනි එවා ජෙරුසලමේ බලකොටු දවා අළු කර දමමි.”

6සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔව්හු ණය ගෙවාගන්නට බැරි නිදොස් අය මුදලටත්, දුප්පත් අසරණයන් සෙරෙප්පු දෙකක මිලයට වහල්කමටත් වික්කෝ ය.

7දුබලුන් පොළොවේ ධූලි මත පාගා, අහිංසකයන් අහකට නෙරපාදමති. පියාත් පුතාත් දෙදෙන ම, එක ම දේවාල ගණිකාවන් සේවනය කර මාගේ ශුද්ධ නාමය කෙලෙසති;

8හැම පූජාසනයක් පාසා ඔවුන් උකසට ගත් වස්ත්‍ර එළාගෙන ඒ මත දිගා වී සිටිති; දඩයට යටත් වූවන්ගෙන් ගත් මුද්‍රික පානය ඔව්හු තම තමන්ගේ දේවාලවල දී බොති.

9“එහෙත්, කිහිරි ගස් මෙන් උස, කළුවර ගස් මෙන් ශක්තිමත් අමෝරිවරුන් ඔවුන් උදෙසා සහමුලින් ම විනාශ කරදැම්මේ මම ය.

10“තවද, අමෝරිවරුන්ගේ දේශය නුඹ ම හිමි කරගන්න පිණිස මිසර දේශයෙන් මුදා ගෙනවුත් සතළිස් වසක් තිස්සේ පාළුකරය මැදින් නුඹ ගෙන ගියේ මම ය.

11නුඹේ පුත්‍රයන්ගෙන් සමහරුන් දිවැසිවරයන් වශයෙන් ද නුඹේ තරුණයන්ගෙන් සමහරුන් නාසරීයයන් වශයෙන් ද මම තෝරා ගතිමි. ඉශ්රායෙල් ජනයෙනි, මා කියන මේ දේ සැබෑ නොවේ ද? මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.

12“එහෙත්, නුඹලා මුද්‍රික පානය බොන්නට නාසරීයයන් පෙළඹෙව්වහු ය; ‘දිවැස් දෙසුම් නොකරන්නැ’යි දිවැසිවරුන්ට අණ කළහු ය.

13ගොයම් මිටි පිරෙවූ බර කරත්තයකින් පොළොවේ මැඩෙන්නාක් මෙන් මම නුඹලා මඩින්නෙමි.

14ශීඝ්‍රයෙන් දුවන්නට හැකි අයට වත් බේරෙන්න බැරි වේ; සවිශක්තිය ඇති අයගේ ශක්තිය ද නැති වේ; හේවායන්ට තමන්ගේ දිවි රැකගන්න ද නොහැකි වේ.

15දුනුවායාට නොවැටී සිටින්න වත්, ශීඝ්‍රයෙන් දුවන්නන්ට ගැළවී යන්න වත්, අසරුවන්ට දිවි බේරාගන්න වත් නොහැකි වේ.

16හේවායන්ගෙන් ඉතා වීරවන්ත අය වුව ද ඒ දවසේ දී නග්න ව පලා යන්නෝ ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.

Ceylon Bible Society
/div>