1සියොන්හි සැප පහසුවෙන් කල් යවන, සමාරිය කඳුකරේ තමන් සුරක්ෂිත යයි සිතන, සෙනඟ උදව් පිණිස සොයා යන, ඉශ්රායෙල් නම් ශ්‍රේෂ්ඨ ජාතියේ සිල්වතුන් වන ඔබට වන විපතක මහත!
2ගොස් කල්නේ නගරය බලන්න; එතැනින් හමාත් මහා නගරයට යන්න. ඉන්පසු පිලිස්තියේ ගාත් නගරයට යන්න. ඒවා ඔබේ රාජ්‍යන්ට වඩා යහපත් ව තිබුණා ද? නැතහොත් ඔබේ දේශයන්ට වඩා ඒවා විශාල ද?
3ඔබ පිට පැමිණෙන විපත්ති දවස කල්දමන්නට ඔබ උත්සාහ කරන නමුත්, ඔබ කරන දේවල් ම සැහැසිකමට තුඩු දෙන්නේ ය.
4සුඛෝපභෝගී කදිම යහන්වල හාන්සිවන, කවිච්චිවල දිගා වී සිටින්න ප්‍රිය කරන, වහු මස් හා එළු මස් කාදමන ඔබට වන විපතක මහත!
5දාවිත් මෙන් ගී ගොතා වීණාවල වාදනය කරන්න ඔබ කැමැති ය.
6ඔබ බඳුන් පුරා මිදිපැන් බොන්නහු ය; ඉස්තරම් තෙල් ඇඟ ගාගන්නහු ය. එහෙත්, ඉශ්රායෙල්ට වන විනාශය ගැන ශෝක නොවන්නහු ය.
7එබැවින් සියල්ලන්ට කලින් වහල්කමට ගෙනයනු ලබන්නේ ඔබ ය. එවිට ඔබේ සැප ජීවිකාව හා භෝජන උත්සව කෙළවර වන්නේ ය.
8සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙය සිය නාමයෙන් දිවුරා මෙසේ වදාරන සේක:
9පවුලක ඉතිරි වී ඇත්තේ දසදෙනකු පමණක් නම්, ඔවුන් සියල්ලන් ම මැරෙනු ඇත.
10මළ කෙනෙකුගේ ඥාතියෙකු ආදාහනය කරන පිණිස මළකඳ ගෙනයන්නට ආ විට, ගෙයි සැඟවී සිටින කෙනෙකුට කතා කොට, ‘මළගිය තව කවුරුත් මෙහි සිටිනවා දැ’යි අසනු ඇත. එවිට, ‘නැත, නිශ්ශබ්ද වන්න, සමිඳාණන් වහන්සේගේ නාමය සඳහන් නොකරන්න අප ප්‍රවේසම් විය යුතු ය’යි ඔහු පිළිතුරු දෙන්නේ ය.
11සමිඳාණන් වහන්සේ අණ කරන විට ලොකු කුඩා ගෙවල් සියල්ල සුණු විසුණු වනු ඇත.
12අශ්වයන්ට පර්වත මත පැන පැන ගිය හැකි ද? ගොනුන් ලවා මුහුද සීසාන්නට පුළුවන් ද? එහෙත් ඔබ යුක්තියට විස පොවා, ඇත්ත නැත්ත කර ඇත.
13මොන කැකිරි ගෙඩියක් ගැන ඔබ ජය ඝෝෂා කරන්නහු ද? “අප ජයගත්තේ අපේ ම බලයෙන් නොවේ දැ”යි ඔබ කියන්නහු ය.
14එහෙත්, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව මම ජාතියක් එවන්නෙමි. උතුරේ ඇති හමාත්ට ඇතුළු වන දුර්ගයේ සිට, දකුණෝ ඇති මළ මුහුද දක්වා ඒ ජාතිය නුඹලාට පීඩා කරනු ඇත.”