1මහෝත්තම දෙවි ස්වාමීන් වන දෙවියන් වහන්සේ මට දර්ශනයක් දැක්වූ සේක. උන් වහන්සේ පළඟැටියන් කන්දරාවක් ඇතිවන්න සලස්වනු මම දිටිමි. එසේ කෙළේ, රජ්ජුරුවන්ට හිමි ගොයම කැපූ පසු, යල් කන්නය වැවෙන්න පටන්ගත් විට ය.
2ඒ පළඟැටියන් දේශයේ ඇතිතාක් සියලු පලා වර්ග කාදමනු මම දිටිමි. එවිට මම, “මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ සෙනඟට කමා වුව මැනව; සෙනඟ ජීවත් වන්නේ කොහොම ද? ඔව්හු සුළු සෙනඟකි”යි යැදීමි.
3සමිඳාණන් වහන්සේ සිය අරමුණ වෙනස් කොට, “නුඹ දුටු දේ සිදු නොවන්නේ ය”යි වදාළ සේක.
4දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක: උන් වහන්සේ ගින්නකින් සෙනඟට දඬුවම් කරන්න සූදානම් වන බව මම දිටිමි. ඒ ගින්න ජල පොළොව දවා, ගොඩබිම ද දවන්න පටන්ගත්තේ ය.
5එවිට මම, “මහෝත්තම දෙවි ස්වාමීනි, නතර කළ මැනව; සෙනඟ ජීවත් වන්නේ කොහොම ද? ඔව්හු සුළු සෙනඟකි”යි යැදීමි.
6සමිඳාණන් වහන්සේ සිය අරමුණ වෙනස් කොට, “මෙයත් සිදු නොවන්නේ ය”යි වදාළ සේක.
7දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක. ලඹ ලණුව අල්ලා සෑදූ පවුරක් අසල උන් වහන්සේ තම අතේ ලඹ ලණුවක් ඇති ව සිටිනු මම දිටිමි.
8“ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි උන් වහන්සේ මාගෙන් ඇසූ සේක. “ලඹ ලණුවකැ”යි මම පිළිතුරු දිනිමි. එකල උන් වහන්සේ, “මාගේ සෙනඟගේ ඇදකුද කෙතරම් ද කියා, මේ ලඹ ලණුව ඇල්ලීමෙන් මම නුඹට පෙන්වමි. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස මම වෙනස් නොකරමි.
9ඊසාක්ගේ දරු පරම්පරාව නමස්කාර කරන ගිරිකුළු දේවාල විනාශ වන්නේ ය. ඉශ්රායෙල්හි සිද්ධස්ථාන වැනසෙන්නේ ය. ජෙරොබෝවම් රජුගේ වංශයට විරුද්ධ ව මම යුද්ධයක් හටගන්වන්නෙමි”යි වදාළ සේක.
10බෙතෙල්හි පූජක තැන වූ අමසියා ඉශ්රායෙල්හි රජ වූ ජෙරොබෝවම්ට මෙසේ දන්වා යැවී ය: “ආමොස් ඔබට විරුද්ධ ව, ඉශ්රායෙල් ජනයා අතරේ කුමන්ත්‍රණයක් කර තිබේ. ඔහු ප්‍රකාශ කරන දේ නිසා රට විනාශ වන්නේ ය.
11‘ජෙරොබෝවම් රජ යුද්ධයේ දී මිය යන්නේ ය’ කියා ද ‘ඉශ්රායෙල් සෙනඟ වහල්කමට ගෙනයනු ලබන්නේ ය’ කියා ද ඔහු ප්‍රකාශ කරයි.”
12අමසියා ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න.
13මින්පසු දිවැස් දෙසුම් බෙතෙල්හි නොකරන්න. මෙය රජතුමා නමස්කාර කරන ස්ථානය ය; මෙය ජාතික සිද්ධස්ථානය ය”යි කීවේ ය.
14එයට ආමොස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම රැකියාව වශයෙන් දිවැස් වැකි කියන දිවැසිවරයෙක් නොවෙමි; මම ගොපල්ලෙක්මි; අත්තික්කා වගා කරන්නෙක්මි.
15එහෙත්, සමිඳාණන් වහන්සේ එඬේර රැකියාවෙන් පිටත මා කැඳවා, ‘නුඹ ගොස් මාගේ ඉශ්රායෙල් සෙනඟට දිවැස් වැකි දෙසන්නැ’යි මට නියම කළ සේක.
16එබැවින් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න. ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව දිවැස් වැකි කියන්නට වත්, ඊසාක්ගේ දරු පරම්පරාවට විරුද්ධ ව වචනයක් කියන්නට වත් එපා යයි ඔබ කියන්නෙහි ය.
17ඔබ එසේ කියන බැවින් සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: ‘නුඹේ භාර්යාව නගරයේ වෙසඟනක් වන්නී ය; නුඹේ දූ දරුවෝ යුද්ධයේ මිය යන්නෝ ය; නුඹේ රට මැන බෙදා අන්‍යයන්ට දෙනු ලබන්නේ ය. නුඹ ද මිසදිටු රටක මිය යන්නෙහි ය. ඉශ්රායෙල් සෙනඟ මවු බිමින් පිටුවහල් කරනු ලබන්නෝ ය.’ “