උත්පත්ති 25:1-34 SINRV2006 - Bible AI

1ආබ්‍රහම් නැවත කෙතුරා නම් බිරිඳක සරණ පාවාගත්තේ ය.

2ඈ ඔහුගෙන් සිම්රාම්, ජොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා ලැබුවා ය.

3ජොක්ෂාන්ට දාව ෂෙබා සහ දෙදාන් ඉපදුණෝ ය. දෙදාන්ගේ පුත්‍රයෝ නම් අෂුරිම්, ලෙටුෂිම් සහ ලෙයුම්මි ය.

4මිදියාන්ගේ පුත්‍රයෝ නම්, ඒපා, ඒපෙර්, හෙනාක්, අබිදා සහ එල්දායා ද ය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝ ය.

5ආබ්‍රහම් තමන් සතු සියල්ල ඊසාක්ට පවරා දුන්නේ ය.

6එහෙත්, තම උපභාර්යාවන්ගේ පුතුන්ට තෑගි දී, තමන් ජීවත් ව සිටිය දී ම, ඊසාක්ගෙන් ඒ පුත්‍රයන් ඈත් කොට, ඔවුන් නැගෙනහිරින් පිහිටි පෙරදිග රටට යැව්වේ ය.

7ආබ්‍රහම් ජීවත් වූ මුළු කාලය අවුරුදු එකසිය හැත්තෑපහක් විය.

8මෙසේ ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී අවසන් හුස්ම හෙළා මරණයට පත් වූ පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.

9එවිට ඊසාක් සහ ඉෂ්මායෙල් වන ඔහුගේ පුත්‍රයෝ මම්රේ ඉදිරියෙහි වූ හිත්තීය ජාතික ශොහර්ගේ පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි පිහිටි මක්පේලාගේ ගුහාවෙහි ඔහු භූමදානය කළහ.

10යථෝක්ත ඉඩම ආබ්‍රහම්, හිත්තීවරුන්ගෙන් මිලට ගත් එකකි. එහි ආබ්‍රහම් ද ඔහුගේ බිරිඳ වන සාරා ද භූමදාන කරනු ලැබූ හ.

11ආබ්‍රහම්ගේ මරණින් පසු දෙවියන් වහන්සේ ඔහුගේ පුත් ඊසාක්ට ආශීර්වාද කළ සේක. ඊසාක් ද ලහයි-රොයිහි ළිඳ අසල පදිංචි විය.

12පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ පෙළපත ය; සාරාගේ සේවිකාව වන මිසර ජාතික හාගර්, ආබ්‍රහම්ට දාව ඉෂ්මායෙල් ලැබුවා ය.

13පෙළපත් අනුව ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නාමාවලිය මෙසේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා නෙබායොත් ය; ඉන්පසු කේදාර්, අද්බෙයෙල්, මිබිසාම්,

14මිෂ්මා, දුමා, මස්සා,

15හදද්, තේමා, ජෙතුර්, නාපීෂ් සහ කේදෙමා යන මොවුහු ය.

16මේ දැක්වූයේ ජනපද හා කඳවුරු අනුව ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නාමාවලිය වේ. මොවුහු ගෝත්‍ර දොළසක ගෝත්‍රපතීහු දොළසකි.

17ඉෂ්මායෙල් අවුරුදු එකසිය තිස්හතක් ආයු වළඳා, අවසන් හුස්ම හෙළා මියගිය පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.

18ඔහුගෙන් පැවතෙන්නෝ හවිලාහි සිට අසිරියාවට යන මගෙහි මිසර දේශයට පෙරදිගින් පිහිටි ෂූර් දක්වා වාසය කළහ. ඔව්හු තම ඥාතීන්ගෙන් ඈත් ව ජීවත් වූ හ.

19පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගේ පෙළපත ය. ආබ්‍රහම්ට දාව ඊසාක් ඉපදිණි.

20මොහු පදන්-අරාම්හි අරමීය ජාතික බෙතුයෙල්ගේ දුව හා අරමීය ජාතික ලාබන්ගේ සොහොයුරිය ද වන රෙබෙකා සිය බිරිඳ මෙන් සරණපාවාගන්න කල්හි ඔහුගේ වයස අවුරුදු සතළිසකි.

21ඈ වඳ ස්ත්‍රියක වූයෙන්, ඔහු තම බිරිඳ උදෙසා බැගෑපත් ලෙස සමිඳාණන් වහන්සේ අයැදී ය. උන් වහන්සේ ඔහුගේ ඉල්ලීමට සවන් දුන් සේක. රෙබෙකා ගැබ්ගත්තා ය.

22ඇගේ කුසෙහි හුන් දරුවන් දඟලන්න ගත් විට, “තත්ත්වය මෙහෙම නම් මා ඉඳලා කුමකට දැ”යි කියමින්, ඕ සමිඳාණන් වහන්සේගෙන් විමසීමට ගියා ය.

23සමිඳාණන් වහන්සේ ඈට කතා කොට මෙසේ වදාළ සේක:

23“ජාතීන් දෙකක් ඔබ කුස තුළ ඇත; දෙවර්ගයක සෙනඟක් ඔබ කුසෙන් බෙදී නික්මෙති. එක සෙනඟක් අනිකට වඩා බලවත් වෙති; වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇත.”

24ඇගේ ප්‍රසූත කාලය සම්පූර්ණ වූ විට, මෙන්න, ඇගේ කුසෙහි නිඹුල් දරුවෝ සිටියහ.

25පළමුවැන්නා උපන්නේ ය. ඔහු රතු පාට ය, ඔහුගේ ඇඟ පුරා ම ලෝම වැස්මක් මෙන් විය. එබැවින් ඔහුට ඒසව් යන නම දෙන ලදී.

26ඉන්පසු උපන්නේ ඔහුගේ සහෝදරයා ය. ඔහු තම අතින් ඒසව්ගේ විලුඹ අල්ලාගෙන සිටියේ ය. එබැවින් ඔහුට ජාකොබ් යන නම දෙන ලදී. රෙබෙකාට මොවුන් ලැබෙන විට ඊසාක්ගේ වයස අවුරුදු හැටකි.

27දරුවෝ දෙදෙන වැඩුණාහ. ඒසව් එළිමහනේ වසන දක්ෂ දඩයම්කාරයෙක් විය. ජාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මිනිසෙක් විය.

28ඊසාක්, ඒසව් ගෙනා මුව මස් කෑ හෙයින් ඔහුට වඩා කැමැති විය; එහෙත් රෙබෙකා වඩා කැමැති වූයේ ජාකොබ්ට ය.

29දිනක් ජාකොබ් ව්‍යංජනයක් පිළියෙළ කෙළේ ය. එවිට ඒසව් බොහෝ විඩාවට පත් ව, කෙතෙහි සිට පැමිණියේ ය.

30ඔහු ජාකොබ්ට කතා කොට, “කරුණාකර, ඔය රතු පාට ව්‍යංජනයෙන් කෑමට මට දෙන්න; බලන්න, මට හරි මහන්සි ය”යි කී ය. මේ කරුණ නිසා ඔහුට ඒදොම් යන නම දෙන ලදී.

31එවිට ජාකොබ් ද, “එසේ නම් කුලුඳුල්කමේ උරුමය අද දින මට විකුණන්නැ”යි කී ය.

32එවිට ඒසව් පිළිතුරු දෙමින්, “මම දැන් මරණාසන්න ව සිටිමි. කුලුඳුල්කමේ උරුමයෙන් මට කුමන වැඩක් දැ”යි පැවසී ය.

33ජාකොබ්, “එසේ නම් අද මා ඉදිරියෙහි දිවුරන්නැ”යි කීවෙන්, ඒසව් ඔහු ඉදිරියෙහි දිවුරුවේ ය. මෙලෙස ඒසව් කුලුඳුල්කමේ උරුමය ජාකොබ්ට විකිණී ය.

34ඉන්පසු ජාකොබ් රොටි සහ එලවළු ව්‍යංජනය ඒසව්ට දුනි. ඔහු කා බී, නැඟිට යන්න ගියේය. මෙසේ ඒසව් සිය කුලුඳුල්කමට හිමි උරුමය සුළු කොට සැලකී ය.

>