2ජාකොබ්ගේ පුතුනි, එක්රැස් වන්න, සවන් දෙන්න, ඔබ පිය ඉශ්රායෙල් හට කන් දෙන්න.
3රූබන්, ඔබ මාගේ කුලුඳුලා ය, ඔබ මාගේ බල විකුම ය, මාගේ පුරුෂ ශක්තියේ නාඹුල් පලය ඔබ ය. ඔබ උදාරත්වයෙන් අගතැන්පත් වේ. බල මහිමෙන් මුදුන්මල්කඩ වේ.
4එහෙත්, ඔබ මැඩලිය නොහැකි ගංවතුරකි, ඔබට ප්‍රමුඛත්වය නොලැබෙන්නේ ය. ඒ මන්ද, ඔබ පියාගේ යහනට නැඟ, මා දුක් ගන්වා, එය කෙලෙසූ බැවිනි.
5සිමියොන් සහ ලෙවී සොහොයුරෝ ය. මැරවරකම් කරනු වස් ඔව්හු අවි අතට ගත්හ.
6එම්බා, මා අධ්‍යාත්මය, ඔබ ඔවුන්ගේ කුමන්ත්‍රණවලට නොබැඳේ වා! එම්බා, මාගේ කීර්ති නාමය, ඔවුන්ගේ සමාගම්වලට එකතු නො වේ වා! ඒ මන්ද, ඔව්හූ කිපී මිනිසුන් මැරූ හ. හිතුමතේ ගොනුන්ගේ සතර ගාතය සිඳදැමූ හ.
7ඔවුන්ගේ කෝපයට සාප වේ වා! මන්ද, එය දරුණු ය; කුරිරු ය. ජාකොබ්ගේ දේශය තුළ මම ඔවුන් වෙන් කරලමි. ඉශ්රායෙල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි.
8ජුදා, ඔබේ සොහොයුරෝ ඔබ පසසති. ඔබ අත සතුරන් ගෙල මත ඇත. ඔබ පියාගේ දරුවෝ ඔබ අබිමුව වැඳ වැටෙති.
9ⓢජුදා සිහ පොව්වෙකි, මපුත, ඔහු ගොදුරු කා යළි ගුහාව බලා එයි. ඔහු සිහ රදෙකු මෙන් ද සිහ දෙනක මෙන් ද වක ගැසී වැතිර සිටියි. ඔහු නැඟිටුවන්නේ කවරෙක් ද?
10රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,
11මිදි වැලේ, ඔහු තම කොටළු නාම්බා දිගේලි කරයි, හොඳ ම මිදි වැලේ කොටළු පැටියා දිගේලි කරයි, ඔහු, තම ඇඳුම් මිදිපැනින් ද, තම සළුව මිදියුසින් ද සෝදයි.
12ඔහු නෙත් මිදිරසින් රතු ය, ඔහු දත් කිරෙන් සුදු ය.
13සාබුලොන් වසන්නේ මූදුබඩ ය, ඔහුගේ වෙරළ නැව්වලට වරායකි, සීදොන් දක්වා, දේශ සීමා දික් වේ,
14ඉස්සාකර් සවි බලැති කොටළුවෙකි, ඔහු සෑදල මැද දිගා වී ලගියි.
15විශ්‍රාමය කදිම බව ඔහු දිටී, රට ද සුන්දර බව දිටී, එබැවින් ඔහු, බඩු පොදියට කර දුන්නෙන්, බර වැඩට වහලෙක් වී ය.
16දාන්, තම සෙනඟගේ විනිසකරුවෙකි. ඒ සෙනඟ ඉශ්රායෙල් ගෝත්‍රවලින් එකකි.
17දාන් මඟ ලගින සර්පයෙක් වේ වා! මාවතේ රැක සිටින පොළඟෙක් වේ වා! ඔහු අසුගේ කුරය දෂ්ට කරයි, අසරුවා ද පස්සට වැටෙයි.
18අහෝ සමිඳුනි, ඔබ ගැළවීම මම බලා සිටිමි.
19ගාද්ට සොර සතුරු මුළක් පහර දේවි! පහරට පහර දී ඔහු උන් ලුහුබඳීවි!
20ආෂෙර්ගේ රට අගනා ආහාර නිපදවයි, ඔහු රජෙකුට නිසි රස මස’වුලු සපයයි.
21නප්තලී නිදැල්ලේ දුවන මුව දෙනකි, සුමිහිරි බස් තෙපලයි.
22ජෝසෙප් පල දරන වැලකි, උල්පතක් ළඟ පල දරන වැලකි, එහි රිකිලි බිත්තියට උඩින් විහිදෙයි.
23දුනුවායෝ ඔහු කුපිත කළහ, ඔහුට විද පහර දුන්හ.
24ඔවුන්ගේ දුනු දරුණු ලෙස කැඩිණි, ඔවුන්ගේ බාහු මාංස පේශී ද ඉරී ගියේය. එසේ කරන ලදුයේ, ජාකොබ්ගේ සියලු බලැති දෙවිඳුන්ගේ බෙලෙනි, ඉශ්රායෙල්ගේ පර්වතය වන එඬේරාණන් විසිනි;
25ඔබට ආධාර කළ ඔබ පියාගේ දෙවිඳුන් විසිනි; ඔබට ආසිරි සිරි දෙන සියලු බලැති දෙවිඳුන් විසිනි, ඉහළ අහසින් ආසිරි ද පහළ ගැඹුරින් ආසිරි ද පියයුරු හා කුස තුළ ආසිරි ද
26ධාන්‍ය හා කුසුම්හි ආසිරි ද පුරාතන කඳුවල ආසිරි ද සදාතන හෙල්වල හොඳ හොඳ දේ ද ජෝසෙප්ගේ හිස මත පතිත වේ වා! තම සොහොයුරන් අතර කැප කරන දේ ද ඔහුගේ හිස් මුදුන්හි පතිත වේ වා!
27බෙන්ජමින් ගිජු වෘකයෙකි, උදය ඔහු තම ගොදුරු ගිලදමයි. සවස කොල්ල කෑ දේ බෙදා දෙයි.”