1මේ කාරණය නිසා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හිරකාරයෙකු වන පාවුලු නම් මම, විජාතීන් වූ ඔබ උදෙසා යාච්ඤා කරමි.
2ඔබේ යහපත පිණිස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට බාර දී ඇති බව ඔබ ඇත්තෙන්ම අසා ඇත.
3මා ලුහුඬින් ලියා තිබෙන ලෙස, මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී.
4
5ආදි පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අබිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයාණන් කරණකොටගෙන ශුද්ධ ප්‍රේරිතයනටත්, දිවැසිවරයනටත් එය එළිදරව් කර ඇත.
6ඒ අබිරහස නම්, සුබ අස්න කරණකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමඟ හවුල් උරුමක්කාරයන් ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන් ද පොරොන්දුවේ හවුල් පංගුකාරයන් ද වන බව ය.
7දෙවියන් වහන්සේගේ බලයේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට, මට දෙන ලද උන් වහන්සේගේ කරුණාවේ දීමනාව ලෙස, මම ඒ සුබ අස්නේ සේවකයෙක් කරනු ලැබීමි.
8සැදැහැවතුන්ගෙන් ඉතා සුළු තැනැත්තාටත් වඩා සුළු වූ මට, මේ වරප්‍රසාදය දෙන ලද්දේ, ක්‍රිස්තුන් වහන්සේගේ අසීමිත ධන සම්භාරය, විජාතීන්ට දේශනා කිරීමටත්,
9මේ අබිරහස් අරමුණ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය එළිදරව් කිරීමටත් ය. යුග ගණනාවක් මුළුල්ලේ ඒ අබිරහස විශ්වයේ මැවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේ තුළ සැඟවී තිබිණි.
10එසේ වූයේ, මේ කාලයේ දී, ශුද්ධ සභාව මඟින් ස්වර්ග ලෝකවල අධිපතීන්ටත්, බලධාරීන්ටත්, දෙවියන් වහන්සේගේ විවිධාකාර ප්‍රඥාව දන්වනු ලබන පිණිස ය.
11දෙවියන් වහන්සේ මෙසේ කළේ, අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ ඉටු කළ ස්වකීය සදාතන අභිප්‍රායට අනුකූල ව ය.
12ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතිව දෙවියන් වහන්සේ වෙත ළඟා වීමේ නිදහසත්, උන් වහන්සේ තුළ අපට ඇත.
13එහෙයින් ඔබ නිසා මා දුක් විඳින බැවින්, අධෛර්ය නොවන ලෙස ඉල්ලමි. ඒ ගැන ඔබ ආඩම්බර විය යුතු ය.
14මේ හේතුව නිසා, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු පෙළපත්වලට නාමය දෙන්නා වූ,
15පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණින් වැටී යාච්ඤා කරමි.
16උන් වහන්සේගේ මහිමතාවේ සම්පතේ හැටියට, ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබේ ආධ්‍යාත්මික භාවය ශක්තිසම්පන්න වන පිණිස ඔබට බලය දෙන ලෙස ද,
17ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ ඔබේ සිත් තුළ වාසය කරන පිණිස ද, යාච්ඤා කරමි. තවද, ප්‍රේමයේ මුල් බැස, ස්ථිර ව පිහිටා සිටින පිණිස ද, යාච්ඤා කරමි.
18සියලු සැදැහැවතුන් සමඟ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ දිගත්, පළලත්, උසත්, ගැඹුරත් වටහා ගැනීමට ශක්තිය ලබා,
19ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන, දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණිස ද යාච්ඤා කරමි.
20අප තුළ ක්‍රියා කරන බලය කරණකොටගෙන අප ඉල්ලන, සිතන සියලු දේට වඩා අධික ලෙස කරන්නට බලය ඇති
21දෙවියන් වහන්සේට සභාව තුළ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ද යුගයෙන් යුගයට, සදහට ම මහිමය වේ වා! ආමෙන්.