එසකියෙල්ගේ 1:1-28 SINRV2006 - Bible AI

1තිස් වන අවුරුද්දේ සතර වන මාසයේ පස් වන දින කෙබාර් ගං තෙර විප්‍රවාසයට ගෙනයනු ලැබූ අය අතරේ එසකියෙල් නම් මා සිටින කල්හි අහස විවෘත වී දේව දර්ශන මට පෙනුණේ ය.

2ජෙහෝයාකින් රජු විප්‍රවාසයට ගෙනයනු ලැබූ පසු, පස් වන අවුරුද්දේ මාසයේ පස් වන දින

3බබිලෝනියේ කෙබාර් ගං තෙර බුසීගේ පුත් එසකියෙල් නම් පූජකයා වෙත සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පැමිණියේ ය. සමිඳාණන් වහන්සේගේ ආනුභාවය ද එහි දී ඔහු පිට විය.

4මා බැලූ විට චණ්ඩ මාරුතයක් උතුරෙන් එනු මම දිටිමි. ඒ සමඟ දීප්තියෙන් වට වූ මහා වලාපටලයක් ද දිළිහෙන ලෝකඩ මෙන් ගින්න මැදින් බැබළීමක් ද ගිනි දලු විහිදෙන ගින්නක් ද වූයේ ය.

5සතුන්ගේ පෙනුම ඇති සතරදෙනෙක් ඒ මැද සිටියහ.

6ඔවුන්ගේ පෙනුම මෙසේ ය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූප තිබුණේ ය. ඔවුන් එකිනෙකාට මුහුණු සතරක් ද පියාපත් සතරක් ද තිබිණි. ඔවුන්ට ඇද නැති පාද තිබිණි.

7ඔවුන්ගේ පාදවල පතුල් වස්සෙකුගේ පාද පතුල් වැනි ය; ඒවා දීප්තිමත් ලෝකඩ මෙන් දිළිසුණේ ය.

8ඔවුන්ගේ පියාපත් යට සතර පැත්තේ ඔවුන්ට මනුෂ්‍ය අත් තිබිණි. ඒ සතරදෙනාගේ මුහුණු හා පියාපත් මෙයාකාර ය:

9ඔවුන්ගේ පියාපත් එකට එක් වී තිබුණේ ය. ගමන් කරන විට ඔව්හු නොහැරී කෙළින් ඉදිරියට ගියහ.

10ඔවුන්ගේ මුහුණුවල පෙනීම මෙසේ ය: ඔවුන් සතරදෙනාට ඉදිරියෙන් මිනිස් මුහුණක් ද දකුණු පැත්තෙන් සිංහ මුහුණක් ද වම් පැත්තෙන් ගව මුහුණක් ද රාජාලියෙකුගේ මුහුණක් ද තිබිණි.

11ඔවුන්ගේ පියාපත් ඉහළට විහිදී තිබිණි. එකිනෙකාගේ පියාපත් දෙකක් තවත් එකෙකුගේ පියාපත් සමඟ එක් වී තිබිණි. දෙකකින් ඔවුන්ගේ ශරීර වැසී තිබිණි.

12ඔව්හු එක එකා කෙළින් ඉදිරියට ගියෝ ය. ආත්මානුභාවය පෙන්වූ මඟ ඔස්සේ ඒ මේ අත නොහැරී ඔව්හු ගමන් කළහ.

13ඒ ජීවමාන සත්ත්වයන් මධ්‍යයෙහි ඇවිලෙන ගිනි අඟුරු වැනි වූ නැතහොත් ඔබමොබ යන පන්දම් වැනි වූ පෙනුමක් ඇති යම් කිසිවක් විය. ඒ ගින්න දීප්තිමත් ය; එයින් විදුලිය නික්මිණි.

14විදුලිය දහරක් සේ ඒ ජීවමාන සත්ත්වයෝ ඔබමොබ දිව්වෝ ය.

15මා ජීවමාන සත්ත්වයන් දෙස බලා සිටිය දී පොළොව මත ඒ සත්ත්වයන් සතරදෙනා ළඟ එකෙකුට එක බැගින් රන් චක්‍ර තිබෙනු මම දිටිමි.

16ඒ චක්‍ර රන් කාන්ති මෙන් බැබළුණේ ය. ඒ සතර ම එක හා සමාන ය. හැඩයෙන් ද ක්‍රියාකාරිත්වයෙන් ද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ ඇතුවාක් මෙන් පෙනුණේ ය.

17ඒවා ගමන් ගත්විට කිනම් අතකට වත් නොහැරී ඒවායේ පැති සතරෙන් එක දිශාවකට ගමන් ගත්තේ ය.

18චක්‍රවල වළලු තිබිණි. ඒ වළලු සතර පුරා ඇස් තිබුණේ ය.

19ඒ සත්ත්වයන් ගමන් ගත් විට චක්‍රත් ඔවුන් කැටුව ගියේ ය. ඒ ජීවමාන සත්ත්වයන් පොළොවෙන් නැඟුණු විට චක්‍රත් නැඟුණේ ය.

20ආත්මානුභාවය පෙන්වූ මඟ ඔස්සේ ඒ සත්ත්වයෝ ගමන් කළහ. ඔවුන් කළ දේ ම චක්‍රයෝ ද කළහ. මන්ද, සත්ත්වයන්ගේ සිත චක්‍රවලත් තිබුණේ ය.

21ඔවුන් යන විට ඒවාත් ගියේ ය. ඔවුන් නැවතුණ විට ඒවාත් නැවතුණේ ය. ඔවුන් පොළොවෙන් නැඟිටි විට ඔවුන් කැටුව චක්‍රත් නැඟිට්ටේ ය. මන්ද, ජීවමාන සත්ත්වයන්ගේ සිත චක්‍රවල තිබුණේ ය.

22තවද, සත්ත්වයන්ගේ හිසට උඩින් පළිඟු මෙන් බබළන ආකාශයක් තිබුණේ ය. එය ඔවුන්ගේ හිස්වලට ඉහළින් විහිදී තිබුණේ ය.

23ආකාශයට යටින් ඔවුන්ගේ පියාපත් එකට එක කෙළින් ව විහිදී තිබුණේ ය. සිය සිරුර ආවරණය කරන පියාපත් දෙකක් එක එක සත්ත්වයාට තිබුණේ ය.

24ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන් ද සර්ව පරාක්‍රමයාණන්ගේ හඬ මෙන් ද මට ඇසිණි. එයින් නැඟුණු ඝෝෂාව යුද කඳවුරක ඝෝෂාව මෙන් විය. ඔවුන් නැවතී සිටි විට, ඔව්හු සිය පියාපත් පහත් කරගත්තෝ ය.

25ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු අහස් ගැබට ඉහළින් හඬක් පැමිණියේ ය. ඔවුන් නැවතී සිටි විට, ඔව්හු සිය පියාපත් පහත් කරගත්තෝ ය.

26ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණ ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේ ය. සිංහාසනය මත මිනිස් පෙනීමක් වැනි ස්වරූපයක් තිබිණි.

27ඒ ස්වරූපයේ ඉඟටියේ සිට ඉහළට ගිනි උදුනක බැබළෙන ලෝකඩ වැනි පෙනුමක් මම දිටිමි; ඉඟටියේ සිට පහළට හාත්පසින් දීප්තියක් ඇති ගින්නක පෙනුමක් දිටිමි.

28හාත්පසින් තිබුණු දීප්තියේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නක පෙනීම මෙන් විය. මේ වනාහි සමිඳාණන් වහන්සේගේ තේජාන්විත ස්වරූපයේ පෙනීම ය. එය දුටු කල මම මුණින්තළා වී වැටුණෙමි. එවිට කතා කරන කෙනෙකුගේ හඬ මට ඇසිණි.

e>