1සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මා වෙත පැමිණ මෙසේ කී ය:
2
3“ඒ නිසා, මනුෂ්‍ය පුත්‍රය, විප්‍රවාසයට යන්නෙකු මෙන් මාර්ගෝපකරණ සූදානම් කරගෙන, දවාලෙහි ඔවුන් බලා සිටිය දී පිටත් වන්න; ඔවුන් බලා සිටිය දී නුඹ සිටින ස්ථානයේ සිට අන් ස්ථානයකට පිටත් ව යන්න. ඔවුන් කැරලිකාර වංශයක් වන නමුත්, සමහර විට ඔවුන් එහි තේරුම සිතට ගනු ඇත.
4නුඹේ බඩු විප්‍රවාසිකයෙකුගේ මාර්ගෝපකරණ මෙන් දවාලෙහි ඔවුන් බලා සිටිය දී පිටතට ගෙන, මිනිසුන් විප්‍රවාසයට පිටත් ව යන්නාක් මෙන් සවස ඔවුන් බලා සිටිය දී පිටත් වන්න.
5නුඹ ඔවුන් බලා සිටිය දී බිත්තිය හාරා, ඒ තුළින් බඩු පිටතට ගෙන යන්න.
6නුඹ ඔවුන් බලා සිටිය දී ඒවා කරට ගෙන, අඳුරු වේලේ පිටතට ගෙන යන්න. යන මඟ නොපෙනෙන පිණිස නුඹේ මුහුණ වසාගන්න. මක්නිසා ද මම ඉශ්රායෙල් වංශයට නුඹ සංකේතයක් කර ඇත්තෙමි.”
7මම ද මට අණ කළ ලෙස කෙළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලේ පිටතට ගෙන, සවස මාගේ අතින් බිත්තිය හාරා, අඳුරු වූ කල්හි ඔවුන් බලා සිටිය දී ඒවා කරට ගෙන පිටතට ගෙනාවෙමි.
8පසු දා උදේ සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
9“මනුෂ්‍ය පුත්‍රය, කැරලිකාර වංශය වන ඉශ්රායෙල් වංශය ‘නුඹ කුමක් කරන්නෙහි දැ’යි නුඹට කීවා නොවේ ද?
10‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මේ දිව්‍ය ප්‍රකාශනය ජෙරුසලමේ අධිපතියා සහ එහි තුළ සිටින මුළු ඉශ්රායෙල් වංශය ගැන ය.’
11මෙසේ කියන්න: ‘මම නුඹලාට සංකේතයක් වෙමි. මා කළ ලෙස ඔවුන්ට ද සිද්ධ වන්නේ ය. ඔව්හු ද පිටත් ව අන් රටක විප්‍රවාසයට යන්නෝ ය.’
12ඔවුන් අතරේ සිටින අධිපතියා ද බඩු කරට ගෙන, අඳුරු වේලේ පිටතට එනු ඇත. ඔවුන් පවුරු හාරා එමඟින් පිටත යනු අසා ඔහු තමාගේ ඇස්වලින් බිම නොදකින පිණිස තමාගේ මුහුණ වසාගනු ඇත.
13
14ඔහුට උපකාර කරන පිණිස ඔහු වටකර සිටින සියල්ලන් ද ඔහුගේ හමුදා ද මම දස දෙස සුළඟෙහි විසුරුවා, කඩුව ගෙන ඔවුන් ලුහුබැඳ යන්නෙමි.
15“මා ඔවුන් ජාතීන් අතරට පන්නාදමා විදේශවල විසුරුවාදැමූ කල්හි, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
16එහෙත්, මම ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද ගළවා ඉතිරි කරන්නෙමි. මෙසේ කරන්නේ, ඔවුන් පැමිණෙන දේශවල සෙනඟට ඔවුන්ගේ සියලු පිළිකුල්කම් ඔවුන් ප්‍රකාශ කරන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”
17තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
18“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ කෑම වෙවුළමින් කා, චංචලකම ද භීතිය ද ඇති ව වතුර බී,
19දේශයේ සෙනඟට මෙසේ කියන්න: ‘ඉශ්රායෙල් රටෙහි සිටින ජෙරුසලමේ වැසියන් ගැන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔව්හු තමන්ගේ කෑම භීතියෙන් කා, තමන්ගේ වතුර කනස්සල්ලෙන් බොන්නෝ ය. මෙසේ වන්නේ, ඔවුන්ගේ දේශයේ වාසය කරන සියල්ලන්ගේ සැහැසිකම නිසා ඒ දේශය සහමුලින් ම පාළු වන පිණිස ය.
20වැසියන්ගෙන් ගහණ වූ නගර නාස්ති වී දේශය පාළු වන්නේ ය. මෙසේ මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය.’ “
21සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
22“මනුෂ්‍ය පුත්‍රය, ‘කාලය ගෙවී යන්නේ ය; දර්ශන ව්‍යර්ථ වන්නේ ය’ කියා ඉශ්රායෙල් රටෙහි නුඹලා අතරේ ව්‍යවහාර වන මේ ප්‍රස්තාව පිරුළේ තේරුම කුමක් ද?
23‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මම මේ ප්‍රස්තාව පිරුළ කීම නවත්වන්නෙමි; එය ප්‍රස්තාව පිරුළක් වශයෙන් ඉශ්රායෙල්හි තවත් ව්‍යවහාර නොවන්නේ ය.’ එසේ ය, ඒ දවස ළං වී ඇති බව ද සියලු දර්ශන ඉටු වන බව ද ඔවුන්ට කියන්න.
24“මන්ද, තවත් කිසි ව්‍යාජ දර්ශනයක් වත්, ඉච්චාකාර දිවැස් කීමක් වත් ඉශ්රායෙල් සෙනඟ අතරෙහි නොවන්නේ ය.
25කුමක් නිසා ද, මම සමිඳාණන් වහන්සේ ය; මා කී දේ කීවා ම ය. එය තවත් පමා නොවී ඉෂ්ට වනු ඇත. එසේ ය, ‘එම්බා කැරලිකාර වංශය! මම නුඹලාගේ ජීවිත කාලයේ දී ම මා පැවසූ දේ ඉටු කරන්නෙමි’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
26නැවත සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
27“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් සෙනඟ කතා කොට, ‘නුඹ දකින දර්ශන ඉෂ්ටවන්න බොහෝ දවස් ගත වන්නේ ය’ කියා ද ‘නුඹ දිවැස් වැකි කියන්නේ දුර අනාගත කාල ගැන ය’ කියා ද කියති.
28එබැවින් ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මාගේ කිසි වචනයක් තවත් ප්‍රමාද නොවේ; මා කී දේ කීවා ම ය; එය ඉටු වන්නේ ම යැ’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”