එසකියෙල්ගේ 13:1-23 SINRV2006 - Bible AI

1සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:

2“මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියන ඉශ්රායෙල්හි දිවැසිවරුන්ට විරුද්ධ ව නුඹ දිවැස් වැකි කියමින්, සිය සිතින් දිවැස් වැකි මවා කියන්නන්ට මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න.

3“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. කිසිවක් නොදැක, තමන්ගේ ම හැඟීම් අනුව දිවැස් කියන මෝඩ දිවැසිවරුන්ට වන විපතක මහත!

4අහෝ ඉශ්රායෙල්වරුනි! නුඹලාගේ දිවැසිවරු පාළු තැන්වල සිටින සිවලුන් හා සමාන වූ හ.

5නුඹලා කපොලු මුර කෙළේ වත්, සමිඳාණන් වහන්සේගේ දවසේ දී ඇති වන සටනේ දී සවි සම්පන්න ව සිටීමට නුඹලා ඉශ්රායෙල් ජාතිය වටකර පවුරක් ගොඩනැඟුවේ වත් නැත.

6සමිඳාණන් වහන්සේ ඔවුන් නොඑවූ නමුත්, ඔව්හු, ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියති. ඔවුන්ගේ දර්ශන බොරු ය; ඔවුන්ගේ පේන කීම් මුසාවෝ ය. එහෙත්, ඒවා ඉටු වේ යයි ඔව්හු බලාපොරොත්තු වෙති.

7මා කතා නොකළ නමුත්, සමිඳාණන් වහන්සේ වදාරන සේකැ යි නුඹලා කියන විට නුඹලා දුටුවේ නිෂ්ඵල දර්ශනයක් නොවේ ද? පැවසුවේ බොරු පේන කීමක් නොවේ ද?

8“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා නිෂ්ඵල දේ කියන්නටත්, බොරු දර්ශන දකින්නටත් යෙදුණ නිසා, මෙන්න, මම නුඹලාට විරුද්ධ ව සිටිමි.

9මාගේ බලවත් හස්තය නිෂ්ඵල දර්ශන දකින බොරු දිවැස් කියන දිවැසිවරුන්ට විරුද්ධ ව ඔසවමි. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝ ය; ඉශ්රායෙල්වරුන්ගේ වංශාවලියේ ලියනු නොලබන්නෝ ය. ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය; මෙසේ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.

10“මක්නිසා ද සාමය නැති කල්හි ‘සාමය’යි ඔව්හු මාගේ සෙනඟ මුළා කරවූවෝ ය; සෙනඟ තාප්පයක් ගොඩනඟන විට ඔව්හු එහි පදම් නොකළ බදාම ගාති.

11පදම් නොකළ බදාම දැමූ අයට මෙය කියන්න. ධාරානිපාත වැස්සක් එන්නේ ය; මහා ගල් වර්ෂාවක් කඩා වැටෙනු ඇත; චණ්ඩ කුණාටුවක් කඩා බිඳ එන්නේ ය; එය වැටෙන්නේ ය.

12බලන්න, තාප්පය වැටුණු කල, ‘නුඹලා ගෑවා වූ බදාම කොයි දැ’යි මනුෂ්‍යයෝ නුඹලාට නොකියත් ද?

13“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එය විනාශ කරන පිණිස, මම උරණ වී චණ්ඩ කුණාටුවක් ද කෝප වී ධාරානිපාත වැස්සක් ද උදහස් වී ගල් වර්ෂා ද එවන්නෙමි.

14මෙසේ නුඹලා පදම් නොකළ බදාම ගෑවා වූ තාප්පය කඩාදමා, මම එහි අත්තිවාරම මතු වන හැටියට එය බිම හෙළන්නෙමි. එය වැටෙනු ඇත. නුඹලා ද ඊට යට වී විනාශ වනු ඇත. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.

15“මෙසේ මාගේ කෝපය තාප්පය පිටත්, එහි පදම් නොකළ බදාම ගෑ අය පිටත් වගුරුවා, ‘තාප්පය නැත, එහි බදාම ගෑවා වූ අයත් නැතැ’යි නුඹලාට කියන්නෙමි.

16ඔව්හු නම්, ජෙරුසලම ගැන දිවැස් වැකි කියමින් ‘සාමය නැති කල්හි අප උදෙසා සාම දර්ශන දකින ඉශ්රායෙල් දිවැසිවරුය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”

17තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, සිය සිතින් දිවැස් වැකි මවා කියන සෙනඟගේ දූවරුන්ට විරුද්ධ ව නුඹේ මුහුණ යොමා, ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියමින්,

18‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක: මිනිසුන් තමන් බලයට යටත් කරගැනීම සඳහා අතේ බඳින පිණිස සියලු දෙනාට යන්ත්‍ර මන්ත්‍ර ජප කරන, හිසේ දමාගන්න පිණිස නන්වැදෑරුම් හිස් වැසුම් මිනිසුන්ට සාදා දෙන ස්ත්‍රීන්ට වන විපතක මහත! නුඹලා මාගේ සෙනඟගේ ප්‍රාණ නාස්ති කරමින්, නුඹලාගේ ම ප්‍රාණ බේරාගන්නට නුඹලාට පුළුවන් ද?

19බොරු බස් අසන මාගේ සෙනඟට නුඹලා බොරු කීමෙන් ද මරණය විඳින්න සුදුසු නැති අය මරමින් ද ජීවත් වීමට සුදුසු නැති අයට ජීවත් වීමට ඉඩ දෙමින් ද නුඹලා යව අහුරු හා රොටි කෑලි ලබාගැනීමට මාගේ සෙනඟ අතරේ මා කෙලෙසුවහු ය.

20“ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනිසුන්ගේ ජීවිතයත්, මරණයත් කෙරේ බලය පාන පිණිස නුඹලා භාවිත කරන මන්ත්‍ර නූල්වලට මම ද්වේෂ කරමි. මම ඒවා නුඹලාගේ අත්වලින් උදුරාදමා, නුඹලා දමනය කරගෙන සිටින අය නිදහස් කර හරින්නෙමි.

21නුඹලාගේ හිස් වැසුම් මම ඉරාදමා, මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. ඔවුන් යටත් කර ගැනීමට නුඹලාගේ අතට අසුවන්නට ඉඩ නොදෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.

22“ ‘ධර්මිෂ්ඨයන් මා අධෛර්ය නොකළ නමුත්, නුඹලා බොරු කියා ඔවුන් අධෛර්ය කළහු ය. දිවි ගළවාගන්න පිණිස නපුරු මිනිසුන්ට ඔවුන්ගේ නපුරුකම් අත්හරින්නට ඉඩ නොදී ඔවුන්ට දිරි දුන්නහු ය.

23නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහු ය. පේන නොකියන්නහු ය. මම ද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය’යි කියන්න.”

le>