1ඉශ්රායෙල් අධිපතීන් ගැන විලාපයක් පවත්වමින් මෙසේ කියන්නැ යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක:
2“නුඹේ මවු කවරෙක් ද? ඈ සිංහයන් මැද ලැගුම්ගත් සිංහ ධේනුවක් ය. තරුණ සිංහයන් අතරෙහි ද ඈ තම පැටවුන් ඇති කළා ය.
3ඈ ඇති කළ ඇගේ පැටවුන්ගෙන් එකෙක් තරුණ සිංහයෙක් වී, ගොදුරු අල්ලන්න ඉගෙනගෙන මිනිසුන් කාදැමී ය.
4ඌ ගැන ජාතීන්ට ද සැළ විය. ඌ ඔවුන්ගේ බොරු වළෙහි අසු විය. ඔව්හු උගුලට කොකු දමා ඌ මිසර දේශයට ගෙන ගියෝ ය.
5ඈ බලා සිට කලකිරී, ඇගේ බලාපොරොත්තුව සුන් ව තිබෙන බව දැක, සිය පැටවුන්ගෙන් තවත් එකෙකු ගෙන ඌ තරුණ සිංහයෙකු වන තෙක් ඇතිදැඩි කළා ය.
6ඌ ද සිංහයන් අතරේ ගැවසී, තරුණ සිංහයෙකු වී, ගොදුරු අල්ලන්න ඉගෙනගෙන මිනිසුන් කාදැමී ය.
7ඌ ඔවුන්ගේ මාලිගා කඩාදමා, ඔවුන්ගේ නගර නාස්ති කෙළේ ය. දේශය ද එහි වැසියෝ ද උගේ ගර්ජනා හඬට භීතියෙන් ත්‍රස්ත වූ හ.
8එවිට ජාතීහු ඔහුට විරුද්ධ ව තමන්ගේ දැල ඌ පිට හෙළුවෝ ය. ඌ ද ඔවුන්ගේ උගුලට අසු විය.
9ඔව්හු ඌට කොකු දමා, කූඩුවක ලා, බබිලෝනියේ රජු ළඟට ගෙනාවෝ ය. උගේ නාදය ඉශ්රායෙල් කඳුවල තවත් නෑසෙන පිණිස ඔව්හු ඌ බලකොටුවලට ගෙනාවෝ ය.”
10“නුඹේ මව දිය දහර අසල සිටු වන ලද මිදි වැලක් මෙන් වූවා ය. එහි බොහෝ වතුර තිබූ නිසා මිදි වැල බොහෝ පල දරා සරුසාර විය.
11ආණ්ඩුකාරයන්ගේ ජයකොන්ත සෑදීමට සුදුසු සවි ඇති දඬු මිදි වැලට තිබිණි. එය වලාකුළුවල ගෑවෙන තරමට උස් විය. එය කොතරම් උස ද කියාත්, කොතරම් කොළ අතු බහුල ව ඇත් ද කියාත් සියල්ලන්ට ම පෙනුණේ ය.
12එහෙත්, එය කෝපයෙන් උදුරනු ලැබ, බිමට හෙළනු ලැබුවේ ය. එහි පල පෙරදිග සුළඟට වියළී ගොස් වැටී ගියේ ය. එහි සවි ඇති දඬු කඩනු ලැබී ය. ඒවා වියළී ගොස් ගින්නෙහි දවනු ලැබී ය.
13දැන් ඒ මිදි වැල කාන්තාරයෙහි දිය සීරා නැති වියළි භූමියක සිටුවා තිබේ.
14එහි කඳ ගිනිගත්තේ ය. අතු හා පල ගින්නෙන් දැවී ගියේ ය. ආණ්ඩුකාරයන්ගේ ජයකොන්ත සෑදීම පිණිස සවිය ඇති දඬු තවත් එහි නො වී ය. මේ වනාහි විලාප ගීයකි. එය යළි යළිත් ගයනු ලැබී ය.”