එස්තර් 5:1-14 SINRV2006 - Bible AI

1තුන් වන දා එස්තර් රාජ වස්ත්‍ර පැළඳගෙන රජ මැදුර ඉදිරිපිට වූ රජුගේ ශාලාවේ ඇතුළු මිදුලට ගොස් සිටියා ය. රජතුමා රජ මැදුරේ දොරටුවට මුහුණ දී සිහසුන් අරා හුන්නේ ය.

2එවිට රජතුමා එස්තර් බිසව මිදුලේ සිටිනු දැක ඈට කරුණාව පා, තමාගේ අතේ තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේ ය. එස්තර් ළං ව ජයකොන්තයේ මුදුන් කෙළවරේ අත තැබුවා ය.

3එකල රජතුමා ඈට කතා කොට, “එස්තර් රැජිනියනි, ඔබේ වුවමනාව කුමක් ද? ඔබේ අයැදීම කුමක් ද? ඔබ ඉල්ලන කුමන දෙයක් වුව ද, රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබට දෙන්නෙමි”යි කීයේ ය.

4එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් වහන්සේට යහපතැ යි පෙනේ නම්, මා රජතුමාට පිළියෙළ කර තිබෙන මංගල භෝජනයට රජතුමා ද හාමාන් ද අද එනු මැනව”යි කීවා ය.

5එවිට රජ කතා කරමින්, “එස්තර්ගේ කැමැත්ත කරන පිණිස හාමාන් ඉක්මනින් කැඳවාගෙන එන්නැ”යි කීවේ ය. මෙසේ රජ ද හාමාන් ද එස්තර් පිළියෙළ කළ මංගල භෝජනයට පැමිණියෝ ය.

6රජතුමා මිදියුස පානය කරමින් සිටිය දී එස්තර්ට කතා කොට, “ඔබේ ඉල්ලීම කුමක් ද? ඔබට එය දෙනු ලබන්නේ ය. ඔබේ අයැදුම කුමක් ද? රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබ ඉල්ලුවොත් එය ඔබට දෙන්නෙමි”යි කීවේ ය.

7එවිට එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් වහන්සේගෙන් මට කරුණාව ලැබී තිබේ නම්,

8එසේ ම මා ඉල්ලන දේ දෙන්නත්, මාගේ අයැදුම ඉෂ්ට කරන්නත් රජතුමා ප්‍රසන්න වේ නම්, ඔබ තුමාටත්, හාමාන්ටත් මා හෙට පිළියෙළ කරන මංගල භෝජනයට ඔබ සහ හාමාන් පැමිණෙත්වා. එවිට රජුගේ කීම ලෙස හෙට මම කරන්නෙමි”යි කීවා ය.

9ඒ දවසේ දී හාමාන් ප්‍රීතිමත් සතුටු සිතකින් පිටත් ව ගියේ ය. එහෙත්, හාමාන් තෙම රජ වාසලේ දොරටුව ළඟ සිටි මොර්දෙකයි තමා එන විට නැඟිට්ටේ වත්, තමාට සැලකිල්ල දැක්වූයේ වත් නැති බව දැක ඔහු කෙරෙහි ඉතා කෝපාවිෂ්ට විය.

10එසේ වුවත්, ඔහු කෝපය සංසිඳුවාගෙන, ගෙට අවුත් තමාගේ මිත්‍රයන් ද තමාගේ බිරිඳ වන සෙරෙෂ් ද කැඳවාගෙන,

11තමාගේ වස්තුවේ යස ඉසුරු ගැන ද, දරුවන් සමූහය ගැන ද, රජු විසින් තමා උසස් කරනු ලැබූ හැටි ද රජුගේ සෙසු අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා උසස් කරනු ලැබූ හැටි ද යනාදී සියල්ල ගැන පුරසාරම් දෙඩුවේ ය.

12හාමාන් තවදුරටත් කතා කොට, “එස්තර් බිසව පිළියෙළ කළ මංගල භෝජනයට රජුටත්, මටත් මිස වෙන කිසිවෙකුට ඈ ආරාධනා කෙළේ නැත. හෙටත් රජු සමඟ එන්න ඈ මට ආරාධනා කර ඇත.

13එහෙත්, ජුදෙව් ජාතික මොර්දෙකයි රජ වාසල දොරටුව ළඟ හිඳගෙන සිටිනු යම් තාක් කල් මට පෙනේ ද, ඒ තාක් කල් මේ සියල්ලෙන් මට වැඩක් නැතැ”යි කීවේ ය.

14එකල ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුගේ සියලු මිත්‍රයෝ ද ඔහුට කතා කොට, “මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි එහි එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කතා කර, ඉන්පසු රජු සමඟ මංගල භෝජනයට ප්‍රීතියෙන් යන්නැ”යි කීවෝ ය. ඒ කීමට හාමාන් ප්‍රසන්න ව එල්ලුම් ගහ ඉදි කරවී ය.

Ceylon Bible Society
div>