එළිදරව්ව 8:1-13 SINRV2006 - Bible AI

1බැටළු පෝතකයාණන් සත් වන මුද්‍රාව කැඩූ කල ස්වර්ගයෙහි අඩපැයක් පමණ නිශ්ශබ්දතාවක් ඇති විය.

2එවිට මම දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටින දේව දූතයන් සත් දෙනා දිටිමි. ඔවුන්ට හොරණෑ සතක් දෙන ලද්දේ ය.

3 තවත් දේව දුතයෙක් රන් ධූම පාත්‍රයක් රැගෙන පූජාසනය ළඟ සිටියේ ය. සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේ ය.

4සුගන්ධ ද්‍රව්‍යයන්හි දුම සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ දේව දූතයාගේ අතින් දෙවියන් වහන්සේ වෙත නැඟුණි.

5 දේව දූතයා ද ධූම පාත්‍රය රැගෙන පූජාසනයේ ගින්නෙන් එය පුරවා පොළොවට හෙළී ය. එවිට අහස් ගිගුරුම් ද ශබ්ද ද විදුලි කෙටීම් ද භූමිකම්පාවක් ද විය.

6හොරණෑ හත අතින් ගත් දේව දූතයෝ සත් දෙනා ඒවා පිඹින පිණිස සූදානම් වූ හ.

7 පළමු වන දේව දූතයා හොරණෑව පිම්බේ ය. එවිට ලේ මුසු ගල් වර්ෂාවක් ද ගිනි ද හටගෙන පොළොව පිට හෙළනු ලැබී ය. පොළොවෙන් තුනෙන් කොටසක් දැවී ගියේ ය. ගස්වලින් තුනෙන් කොටසක් ද දැවී ගියේ ය. අමු තණකොළ සියල්ල ද දැවී ගියේ ය.

8දෙවැන්නා ද හොරණෑව පිම්බේ ය. එවිට ගින්නෙන් ඇවිලෙන මහා කන්දක් වැනි දෙයක් මුහුදේ හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් කොටසක් ලේ විය.

9පණ ඇති මුහුදු සත්ත්වයන්ගෙන් තුනෙන් කොටසක් මළෝ ය. නැව්වලින් ද තුනෙන් කොටසක් විනාශ විය.

10 තුන්වැන්නා ද හොරණෑව පිම්බේ ය. එවිට මහා තාරකාවක් ගිනි පන්දමක් මෙන් ඇවිලෙමින් අහසින් වැටිණි. එය ගංගාවලින් තුනෙන් කොටසක් පිට ද දිය උල්පත් පිට ද වැටිණි.

11 තාරකාවේ නාමය ‘තික්ත’ යනුයි. වතුරෙන් තුනෙන් කොටසක් තික්ත විය. එය තික්ත වී තිබුණු බැවින් බොහෝ මනුෂ්‍යයෝ ඒ වතුර බී මළෝ ය.

12 සතර වන දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් කොටසක් ද සඳුගෙන් තුනෙන් කොටසක් ද තාරකාවලින් තුනෙන් කොටසක් ද පහර ලැබී ය. මෙසේ ඒවායින් තුනෙන් කොටසක් අඳුරු විය. දවාලෙන් තුනෙන් කොටසක ද එසේ ම රාත්‍රියෙහි තුනෙන් කොටසක ද ආලෝකය පහ විය.

13තවද එක් රාජාලියෙකු මැද අහසේ පියාසර කරමින්, “මින්පසු දේව දූතයන් තුන් දෙනා පිඹින්නට යන අන්තිම හොරණෑවල ශබ්දය පැතිර යන විට පොළොවෙහි වාසය කරන්නන් හට දුක් වේ, දුක් වේ, දුක් වේ ය”යි මහ හඬින් කියනු මට ඇසිණි.