1දේව කැමැත්ත අනුව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලු ද සහෝදර තිමෝතියස් ද යන අපි,
2කොලොස්සියේ සිටින, ක්‍රිස්තියානි ඇදහිලිවන්ත සහෝදර සැදැහැවතුන් වෙත ලියා එවමු. අප පියාණන් වන දෙවියන් වහන්සේගෙන් කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!
3අපගේ යාච්ඤාවල දී, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට, අපි ඔබ උදෙසා නොකඩව තුති දෙමු.
4මන්ද, ඔබගේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ලත්, සියලු සැදැහැවතුන් කෙරෙහි පවත්නා ඔබේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි.
5ඒ දෙකට හේතු වූ ඔබගේ ස්වර්ගීය බලාපොරොත්තුව ගැන පළමුවෙන් ඔබට අසන්නට ලැබුණේ, සත්‍ය සුබ අස්නේ දහම් පණිවුඩය ඔබ වෙත පැමිණි විට ය.
6ඔබ වෙතට මෙන් ම මුළු ලෝකය වෙතට ද ඒ සුබ අස්න පැමිණ තිබේ. තවද, ඔබ එය අසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසි පරිදි අවබෝධ කරගත් දා පටන්, එය ඔබ අතර පල දරා, වර්ධනය වූවාක් මෙන්, ලොව පුරා එය පල දරමින් වර්ධනය වන්නේ ය.
7
8ආත්මයාණන්ගෙන් වූ ඔබේ ප්‍රේමය ගැන අපට සැළ කෙළෙත් ඔහු ය.
9මේ කරුණ නිසා, අපි එය ඇසූ දා පටන් ඔබ ගැන නොකඩව යාච්ඤා කෙළෙමු. සියලු ආකාර ප්‍රඥාව ද ලොව්තුරා ඥානය ද ලබා, ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ ලෙස අවබෝධ කරගෙන,
10සමිඳාණන් වහන්සේට ඔබින ලෙසත්, ප්‍රිය මනාප වන ලෙසත් හැසිරෙන මෙන් යාච්ඤා කරමු. සියලු ආකාර යහපත් ක්‍රියාවලින් පලදායි වන මෙන් ද දෙවියන් වහන්සේ දැනගැන්මෙහි වැඩි වර්ධනය වන මෙන් ද යාච්ඤා කරමු.
11ධෛර්යයෙන් ද ඉවසිල්ලෙන් ද ප්‍රීතියෙන් ද සියල්ල දරාගැනීමට දෙවියන් වහන්සේ ස්වකීය මහිමාන්විත බලපරාක්‍රමය අනුව සියලු ආකාර බලයෙන් ඔබ ශක්තිමත් කරන සේක් වා.
12ආලෝකයේ වසන සැදැහැවතුන්ගේ උරුමයට පංගුකාරයන් වීමට ඔබ සුදුස්සන් කළ පියාණන් වහන්සේට ස්තුති කරන්න.
13අන්ධකාරයේ බලයෙන් අප මුදා, තම ප්‍රේමාන්විත පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පැමිණෙව්වේ උන් වහන්සේ ය.
14
15ක්‍රිස්තුන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ව, මුළු මැවිල්ලේ අගතැන් ගන්නා සේක.
16මක්නිසා ද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නා වූ දේවල් ද නොපෙනෙන්නා වූ දේවල් ද යන සියල්ල උන් වහන්සේ තුළ මවන ලද්දේ ය; සියලු දේ උන් වහන්සේ කරණකොටගෙන ද උන් වහන්සේ උදෙසා ද මවා තිබේ;
17උන් වහන්සේ සියල්ලට ම පළමුවෙන් සිටින සේක, සියල්ල ද උන් වහන්සේ තුළ පවතින්නේ ය.
18
19මන්ද, දේව කැමැත්ත අනුව, දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුන් වහන්සේ තුළ විය.
20
21පසුගිය කාලයේ දී ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වී සිටියහු ය. ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ උන් වහන්සේට සිතින් සතුරු ව සිටියහු ය.
22එහෙත් දැන් දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ගේ ජීවිතය හා මරණය කරණකොටගෙන තමන් හට ඔබ සමඟි කරගත් සේක. එසේ කෙළේ ඔබ ශුද්ධ, නොකැළැල්, නිදොස් අය හැටියට දැන් උන් වහන්සේ ඉදිරියට පමුණුවාගැනීම සඳහා ය.
23එය ඉටු වීමට නම්, ඔබ ඇදහිල්ලේ නිරත ව සිටිමින්, සුබ අස්නේ බලාපොරොත්තුවෙන් පිට නොගොස්, එය පදනම් කොටගෙන ස්ථීර ව පැවතිය යුතු ය. ඔබ ඇසූ සුබ අස්න අහසින් යට සැමදෙනට ම ප්‍රකාශ කර ඇත. පාවුලු නම් මම ඒ සුබ අස්නේ සේවකයෙක් වීමි.
24ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන් වහන්සේගේ දුක් විඳීමේ ඌනතා සම්පූර්ණ කිරීමට මම සහාය වෙමි.
25මේ සභාවේ සේවකයෙකු වශයෙන් දෙවියන් වහන්සේ මා පත් කර, ඔබේ යහපත උදෙසා මට වගකීමක් භාර දුන් සේක. ඒ වගකීම නම්, දෙවියන් වහන්සේගේ පණිවුඩය සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීම ය.
26ඒ පණිවුඩය, යුග හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසක් ව සැඟවී තිබී, දැන් උන් වහන්සේ සැදැහැවතුන් හට එය අනාවරණය කර ඇත.
27ඔවුන් හට එය අනාවරණය කරන ලද්දේ ඒ රහසේ තේජාන්විත සම්පත කුමක් දැ යි සකල ජාතීන්ට දන්වනු පිණිස ය. ඒ රහස නම්, ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවිසීම ය. උන් වහන්සේ ඔබේ තේජාන්විත බලාපොරොත්තුව වන සේක.
28අප ඒ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සියලු දෙනා ම පරිණත කිතුනුවන් වන පිණිස ය. ඒ සඳහා සියලු දෙනාට දැනමුතුකම් දෙමින් සියලු ආකාර ප්‍රඥාවෙන් අනුශාසනා කරමු.
29මේ සඳහා, මා තුළ බලවත් සේ ක්‍රියා කරන ක්‍රිස්තුන් වහන්සේගේ බල මහිමයේ ප්‍රකාරයට දිරි දරමින් වීර්ය කරමි.