ගණන් කථාව 12:1-16 SINRV2006 - Bible AI

1මෝසෙස්, කුෂ් නම් දේශයෙන් කුෂ් ජාතික ස්ත්‍රියක සරණ පාවාගත් හෙයින් මීරියම් සහ ආරොන් ඔහුට විරුද්ධ ව කතා කළහ.

2“සමිඳාණන් වහන්සේ කතා කෙළේ මෝසෙස් මඟින් පමණක් ද? උන් වහන්සේ අප මඟින් පවා කතා නොකරන සේක් දැ”යි ඔව්හු කීවෝ ය. සමිඳාණන් වහන්සේට එය ඇසිණි.

3මිහි පිට සිටි සියලු මිනිසුන් අතරෙන් මෝසෙස් අතිනිහතමානී කෙනෙක් විය.

4සමිඳාණන් වහන්සේ හදිසියෙන් මෝසෙස්ට, ආරොන්ට සහ මීරියම්ට කතා කොට, “නුඹලා තිදෙන සම්මුඛ මණ්ඩපයට නික්ම ආ යුතු ය”යි වදාළ සේක. ඔව්හු ද එහි ගියහ.

5උන් වහන්සේ වලා ටැඹකින් බැස අවුත්, සම්මුඛ මණ්ඩපයේ දොරකඩ වැඩ සිට, ආරොන් සහ මීරියම් කැඳවූ සේක. ඔව්හු දෙදෙන පැමිණියහ.

6එවිට උන් වහන්සේ කතා කොට,

6“මා වදනට සවන් දෙන්න; දිවැසිවරු ඔබ අතර සිටිත් නම්, සමිඳුන් ඔවුන්ට ප්‍රකාශ වනුයේ දර්ශනවලිනි; ඔවුන්ට කතා කරනුයේ සිහිනවලිනි:

7මා සේවක මෝසෙස් එසේ නොවේ, ඔහුට මාගේ මුළු සෙනඟ භාර දී ඇත.

8මම ඔහු සමඟ මුහුණට මුහුණ ලා කතා කරමි, ගුප්ත වදනින් නොව, පැහැදිලි ව, කතා කරමි. ඔහු සමිඳුන්ගේ රූපය දකිනු ඇත. එබැවින් මාගේ සේවක මෝසෙස්ට විරුද්ධ ව කතා කිරීමට නුඹලා එඩිතර වූයේ කෙසේ දැ’යි ඇසූ සේක.

9සමිඳාණන් වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවිළිණි. උන් වහන්සේ නික්ම ගිය සේක.

10වලාකුළ මණ්ඩපයෙන් ඉවත් විය. පුදුමයකි! මීරියම්ට හිම මෙන් සුදු කුෂ්ඨ රෝගයක් වැළඳී තිබිණි. ආරොන් ඈ දෙස බැලූ විට ඈට කුෂ්ඨයක් තිබෙන බව පෙනිණි.

11එවිට ආරොන් මෝසෙස්ට කතා කොට, “අහෝ ස්වාමීනි! අපගේ මෝඩකමින් අප කළ පාපයේ වගකීම අප පිට පවරනු නොමැනවි.

12ඈ මවු කුසින් බිහි වන, මාංසයෙන් කොටසක් දිරා ගිය, මළ කෙනෙකු මෙන් නො වේ වා”යි කීවේ ය.

13මෝසෙස් සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මාගේ දෙවිඳුනි, ඈ වහා ම සුව කරන ලෙස, මම ඔබගෙන් අයැදිමි”යි කියා කෑගැසී ය.

14ඉන්පසු සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඇගේ පියා ඇගේ මූණට කෙළ ගැසී නම්, ඈ දින හතක් තුළ ලජ්ජා නොවිය යුතු ද? එබැවින් දින හතකට ඈ කඳවුරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඉන්පසු ඇය කඳවුර තුළට බාර ගත හැකි ය”යි වදාළ සේක.

15දින හතකට මීරියම් කඳවුරෙන් නෙරපාදමනු ලැබුවා ය. ඈ යළි පැමිණෙන තෙක් සෙනඟ ද යන්නට පිටත් නො වූ හ.

16ඉන්පසු සෙනඟ හශේරොත් නම් ස්ථානයෙන් නික්ම ගොස් පාරාන් නම් පාළුකරයේ කඳවුරු බැඳගත්හ.

e>