ගණන් කථාව 33:1-56 SINRV2006 - Bible AI

1මෝසෙස්ගේ හා ආරොන්ගේ නායකත්වය යටතේ මිසර දේශයෙන් නික්මුණු ඉශ්රායෙල් ජනයාගේ සහ ඔවුන්ගේ හමුදාවන්ගේ ගමන් විස්තර මේවා ය.

2සමිඳාණන් වහන්සේ අණ දුන් පරිදි, මෝසෙස් ඔවුන් පිටත් වූ ස්ථාන අනුව ගමන් විස්තර සටහන් කෙළේ ය. පිටත් වූ ස්ථාන අනුව ඒවායේ විස්තර මෙසේ ය.

3ඉශ්රායෙල් ජනතාව පළමු වන මාසයේ පසළොස් වන දින, පාස්කු දිනට පසු දින, මිසර වැසියන් බල බලා සිටිය දී මහා උදාර ලීලාවෙන් රාමෙසෙස් නම් නුවරින් පිටත් වූ හ.

4එකල මිසර වාසීහු සමිඳාණන් වහන්සේ මැරූ ඔවුන්ගේ කුලුඳුලන් වළලමින් සිටියහ. මෙලෙස උන් වහන්සේ ඔවුන්ගේ දෙවි දේවතාවන්ට ද දඬුවම් කළ සේක.

5ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවරින් නික්ම සුක්කොත්හි ද,

6සුක්කොත් නුවරින් නික්ම පාළුකරයේ අද්දර වූ ඒතාම්හි ද,

7ඒතාම් නුවරින් නික්ම බාල්-ශෙපොන් ඉදිරිපිට වූ පී-හාහිරොත් බලා හැරී ගොස් මිග්දෝල් ඉදිරිපිට ද,

8පී-හාහිරොත් නම් නුවරින් නික්ම, මුහුද මැදින් පාළුකරයට ගොස්, ඒතාම් නම් පාළුකරයේ තුන් දිනක් ගමන් කොට මාරාහි ද කඳවුරු බැන්දහ.

9මාරා නම් ස්ථානයෙන් ද නික්ම, ඒලිම්ට පැමිණියහ. මෙහි දිය උල්පත් දොළහක් ද තල්ගස් හැත්තෑවක් ද තිබිණි. එහි ද ඔව්හු කඳවුරු බැඳ

10ඉන් නික්ම රතු මුහුදුබඩ ද,

11එතැනින් නික්ම සීන් නම් පාළුකරයේ ද,

12එතැනින් නික්ම දොප්කාහි ද,

13එතැනින් නික්ම අලුෂ්හි ද කඳවුරු බැන්දහ.

14එතැනින් නික්ම සෙනඟට බීම සඳහා ජලය නොතිබුණු රෙපිඩිම්හි ද,

15එතැනින් නික්ම සීනයි පාළුකරයේ ද කඳවුරු බැන්දහ.

16එතැනින් නික්ම කිබ්රොත්-හත්තාවාහි ද,

17එතැනින් නික්ම හශේරොත්හි ද,

18එතැනින් නික්ම රිත්මාහි ද,

19එතැනින් නික්ම රිම්මොන්-පෙරෙශ්හි ද,

20එතැනින් නික්ම ලිබ්නාහි ද,

21එතැනින් නික්ම රිස්සාහි ද,

22එතැනින් නික්ම කෙහේලාතාහි ද,

23එතැනින් නික්ම ෂෙපෙර් කන්දෙහි ද,

24එතැනින් නික්ම හරාදාහි ද,

25එතැනින් නික්ම මක්හෙලොත්හි ද,

26එතැනින් නික්ම තාහත්හි ද,

27එතැනින් නික්ම තෙරාහි ද,

28එතැනින් නික්ම මිත්කාහි ද,

29එතැනින් නික්ම හෂ්මොන්හි ද,

30එතැනින් නික්ම මොසේරොත්හි ද,

31එතැනින් නික්ම බෙනෙ-ජාකාන්හි ද,

32එතැනින් නික්ම හෝර්-හග්ගිද්ගාද්හි ද,

33එතැනින් නික්ම ජොට්බාතාහි ද,

34එතැනින් නික්ම අබ්රොනාහි ද,

35එතැනින් නික්ම එශිමෙයාන්-ගෙබෙර්හි ද,

36එතැනින් නික්ම ශීන් පාළුකරයෙහි එනම් කාදෙෂ්හි ද,

37එතැනින් නික්ම ඒදොම් දේශ සීමාවේ පිහිටි හෝර් කන්දෙහි ද කඳවුරු බැඳගත්හ.

38ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ගිය හතළිස් වන අවුරුද්දේ පස් වන මාසයේ පළමු වන දින සමිඳාණන් වහන්සේගේ අණ පරිදි පූජක ආරොන් හෝර් නම් කන්දට නැංග පසු, එහි දී මියගියේ ය.

39ඔහු එහි මියයන විට ඔහුගේ වයස අවුරුදු එකසිය විසිතුනකි.

40කානාන් දේශයේ දකුණු දිශාවේ විසූ කානානිය අරාද් නම් රජු හට ඉශ්රායෙල් ජනයා සැපත් වන බව සැළ විය.

41ඔව්හු හෝර් කන්දෙන් නික්ම සල්මොනාහි ද,

42එතැනින් නික්ම පූනොන්හි ද,

43එතැනින් නික්ම ඔබොතෙහි ද,

44එතැනින් නික්ම මෝවබ් දේශ සීමාවේ පිහිටි ඉයේ-ආබාරිම්හි ද,

45එතැනින් නික්ම දීබොන්-ගාද්හි ද,

46එතැනින් නික්ම අල්මොන්-දිබ්ලාතයිම්හි ද,

47එතැනින් නික්ම නෙබෝ ඉදිරිපිට අබාරිම් කඳු වැටියේ ද,

48එතැනින් නික්ම ජොර්දාන් ගං තෙර වූ ජෙරිකෝ නුවර මෝවබ් මිටියාවතේ ද කඳවුරු බැඳගත්හ.

49මෙලෙස ඉශ්රායෙල් ජනයා ජොර්දාන් ගං තෙර බෙත්-ජෙෂිමොත් පටන් ආබෙල්-ෂිත්තිම් දක්වා මෝවබ් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ.

50ජොර්දාන් ගං තෙර පිහිටි ජෙරිකෝ නුවර අසල මෝවබ් මිටියාවතේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:

51“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න; ‘නුඹලා ජොර්දාන් ගඟෙන් එතෙර වී, කානාන් දේශයට සැපත් වූ විට

52නුඹලාට ඉදිරියෙන් එහි සිටින දේශවාසී සියල්ලන් පලවා හැරිය යුතු ය. ඔවුන් ගලින් නෙළූ, ලෝහයෙන් වාත්තු කළ පිළිම නසා වනසා, ගිරිකුළු දේවාල නටබුන් කළ යුතු ය.

53නුඹලා දේශය උරුම කොටගෙන එහි පදිංචි විය යුතු ය. මන්ද, ස්වාමීන් වන මා එය නුඹලාට දුන් බැවිනි.

54තවද දාදු දමා, දේශය නුඹලාගේ පෙළපත් අතර උරුම කොට බෙදාගත යුතු ය. වැඩියෙන් ඉන්න අයට වැඩියෙන් ද, අඩුවෙන් ඉන්න අයට අඩුවෙන් ද උරුමය දිය යුතු ය. දාදුව අනුව යමෙකුට වැටෙන ස්ථානය ඔහුට උරුම වනු ඇත. නුඹලාගේ පිය පෙළපත්හි ගෝත්‍ර අනුව නුඹලා දේශය උරුම කොට ගත යුතු වේ.

55නුඹලා දේශවාසී සියල්ලන් පලවා නොහැරියොත්, එහි ඉතිරි වන අය නුඹලාගේ ඇහැට උලක් ද ඇලයට කටුවක් ද වැනි මහා කරදරයක් වී නුඹලා වසන දේශයේ දී ඔවුන් නුඹලාට හිරිහැර කරනු ඇත.

56ඇරත්, නුඹලා මා කී ලෙස නොකරන්නහු නම්, මම ඔවුන්ට දෙන්නට යන දඬුවම් නුඹලාට දෙන්නෙමි.’ “

e>