1සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
2“ආරොන් අමතා ඔහුට මෙසේ කියන්න: ‘නුඹ පහන් දල්වන විට පහන් හතේ එළිය පහන් රුක ඉස්සරහට වැටිය යුතු ය’ ”යි වදාළ සේක.
3ආරොන් ද එසේ කරමින්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පහන්වල එළිය, පහන් රුක ඉස්සරහට වැටෙන සේ ඒවා දැල්විය.
4
5සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
6“ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් රැගෙන ඔවුන් පවිත්‍ර කරන්න.
7ඔවුන් පවිත්‍ර කිරීමේ වත්පිළිවෙත් මෙලෙස කළ යුතු ය. ඔවුන් මත පවිත්‍ර කිරීමේ වතුර ඉසින්න. ඉන්පසු ඔවුන් තම මුළු ශරීරය බූගාගෙන, තමන්ගේ වස්ත්‍ර සෝදා ගත යුතු ය. එවිට ඔවුන් පවිත්‍ර වනු ඇත.
8ඉන්පසු ඔවුන් ගොන් වස්සෙකු ද, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි ද ගත යුතු ය. නුඹ පාප පූජාවක් සඳහා තවත් ගොන් වස්සෙකු ගත යුතු ය.
9මෙසේ ඔවුන් ගත් පසු, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට නුඹ ඔවුන් කැඳවිය යුතු ය. තවද, නුඹ මුළු ඉශ්රායෙල් ජනතාව ම එක්වන සේ කැඳවිය යුතු ය.
10මෙසේ නුඹ ලෙවීවරුන් සමිඳාණන් වහන්සේ ඉදිරියට ගෙනා පසු ඉශ්රායෙල් ජනතාව ඔවුන් මත තම අත් තැබිය යුතු වේ.
11ඉන්පසු ආරොන් ඉශ්රායෙල් ජනයාගේ විශේෂ පඬුරක් මෙන් සමිඳාණන් වහන්සේගේ සේවය ඉටු කරන පිණිස, ලෙවීවරුන් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.
12එවිට ලෙවීවරුන් ගොන් වස්සන්ගේ හිස් පිට තමන්ගේ අත් තැබිය යුතු ය. ලෙවීවරුන්ගේ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන පිණිස, නුඹ එක ගොන් වස්සෙකු පාප පූජාවක් සඳහා ද, අනිකා දවන යාග පූජාවක් සඳහා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.”
13“නුඹ ලෙවීවරුන් විශේෂ පඬුරක් මෙන් සමිඳාණන් වහන්සේට කැප කළ පසු ඔවුන් පිළිබඳ වගකීම ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පැවරිය යුතු ය.
14මෙසේ නුඹ ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් වෙන් කළ යුතු ය. ඔවුන් මගේ ම වනු ඇත.
15නුඹ ඔවුන් පවිත්‍ර කොට විශේෂ පඬුරක් මෙන් කැප කළ පසු, සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ට එහි ඇතුළු විය හැකි ය.
16මුළු ඉශ්රායෙල් ජනයා අතර උපදින කුලුඳුලන් වෙනුවට මම මට ම ඔවුන් තෝරාගතිමි. ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔව්හු මට මුළුමනින් ම කැප කරන ලද්දෝ ය.
17
18මෙලෙස ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුලන් සියලු දෙනා වෙනුවට මම ලෙවීවරුන් තෝරාගතිමි.
19ඉශ්රායෙල් ජනයා අතරෙන් තෝරාගත් ලෙවීවරුන් විශේෂ දීමනාවක් මෙන් මම ආරොන්ට සහ ඔහුගේ පුතුන් හට දුනිමි. ඔවුන් ඉශ්රායෙල් ජනයා උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරමින්, සම්මුඛ මණ්ඩපය තුළ ඔවුන් උදෙසා සේවාව ඉටු කළ යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයට සමීප වන විට ඔවුන්ට විපත්තියක් නොවනු ඇත.”
20මෙලෙස ලෙවීවරුන් සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල ම, ඔහු ද, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ද ඔවුන් වෙත ඉටු කළහ.
21ලෙවීවරු ද පවිත්‍ර වී, තම වස්ත්‍ර සෝදාගත්හ. ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් විශේෂ දීමනාවක් මෙන් පිළිගැන්විය; ලෙවීවරුන් සම්බන්ධ පවිත්‍රවීමේ වත්පිළිවෙත් ද ඉටු කෙළේ ය.
22ඉන්පසු ලෙවීවරු, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් යටතේ සම්මුඛ මණ්ඩපය තුළ සේවාවන් ඉටු කිරීමට සුදුස්සෝ වූ හ. මෙසේ සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණ කළ ලෙස ඔව්හු ලෙවීවරුන්ට කළෝ ය.
23සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
24“පහත දක්වන දේ ද ලෙවීවරුන් සම්බන්ධ ය. අවුරුදු විසි පහේ සිට ඊට වඩා වයසැති අය සම්මුඛ මණ්ඩපය තුළ සේවාව ඉටු කළ යුතු ය.
25වයස අවුරුදු පණහක් වූ විට ඔවුන් එම සේවයෙන් අහක් වී, ඉන් විශ්‍රාම ගත යුතු ය.
26එහෙත්, ඔවුන්ට සම්මුඛ මණ්ඩපයේ සේවාවෙහි නියුක්ත අනිකුත් ලෙවීවරුන්ට සහාය විය හැකි ය. එහෙත්, ඔවුන් කිසි සේවාවක් නම් නොකළ යුතු ය. ලෙවීවරුන්ගේ වගකීම්වලට අදාළ ව නුඹ ක්‍රියා කළ යුත්තේ ඉහත දැක්වූ අන්දමට ය”යි වදාළ සේක.