1සමිඳුනි, ඔබ ඈත් වී සිටින්නේ මන් ද? විපත් සමයේ කුමට සැඟවී සිටින සේක් ද?
2අහංකාර පවිටු දනෝ දිළිඳුන් හට පීඩා කරති; එබැවින් තමන් අටවන උගුල්වල තුමූ ම අසුවෙති.
3දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමන් හෙළා දකිති.
4දුදනා උඩඟුකම නිසා දෙවිඳුන් සොයා නොයයි. ‘දෙවි කෙනෙක් ලොවේ නැත’ යනු ඔහුගේ නිගමනය යි.
5ඒ මිනිසා සැම විට ම සව් ඉසුරෙන් වැජඹෙනු ඇත. ඉහළින් එන දෙව් නියමය ගැන නම් කිසි දැනුමක් ඔහුට නැත. සිය සතුරන්ට ඔහු නිගා කරයි.
6ඔහු තමා හට මෙසේ කියාගනියි: “නොවැටෙමි මම කවදාවත්; කිසි විපතක් නැත මා හට.”
7ⓝසාපයෙන්, රැවටිල්ලෙන්, සැහැසිකමෙන් ඔහුගේ මුව පිරී තිබේ. නපුර සමඟ අයුක්තිය ඔහුගේ දිවග ලෙල දෙයි.
8ගම්මානයේ සැඟවී සිට ඔහු නිදොස් අය කපා කොටයි; පිහිටක් නැති අසරණයින් එන තුරු ඔහු මාන බලයි.
9ගුහාවේ නිදන සිහ රදකු මෙන් ඔහු ගොදුරු සොයා රහස් තැනක ලැග ඇත; දිළිඳු දනන් ඩැහැගනු ඇත; මරු දැල දා ඇදගනු ඇත.
10සුදනා පහර ලබා, බිම වැටී, ගුළි ගැසී සිටියි; ඒ අසරණ අය දුදනන්ගේ අතට අසු වී සිටිති.
11“දෙවිඳුන් මෙතන නැත; එතුමාණන් මුහුණ වසාගෙන ඇත. කිසි කලක එය නොදකිනු ඇතැ”යි ඔහු සිතින් සිතාගනියි.
12සමිඳුනි, අවදි වන්න; ඔබ අත ඔසවා මුදාගන්න; දිළිඳු අය සිහි කරන්න.
13දුෂ්ටයා දෙවිඳුන් හට නිගා කරන්නේ මන් ද? “ඔබ දඬුවම් නොදෙන සේකැ”යි ඔහු සිතින් කියාගන්නේ මන් ද?
14ඔබ දුක් කරදර ගැන සලකන සේක; ඔබ උපකාර කරන්නට නිතර සූදානම් ය. අසරණයා සිය ජීවිතය ඔබට භාර දෙයි. ඔබ අනාථයාගේ ආධාරකරු වන සේක.
15නපුරන්ගේ හා දුදනන්ගේ බලය සිඳ බිඳලන්න; කිසි නපුරක් ඉතිරි නොවන ලෙස ඔවුන්ට දඬුවම් කරන්න.
16සදහට ම සමිඳාණෝ රජිඳාණෝ ය, එතුමන්ගේ විජිතයෙන් විජාතීන් වැනසෙනු ඇත.
17සමිඳුනි, පීඩිතයන්ගේ විලාපයන්ට ඔබ සවන් දෙන සේක; ඔවුන්ට ඔබ දිරිය දෙන සේක.
18මිහි පිට වසන මිනිසාගෙන් තවත් බියක් ඇති නොවන පරිදි, අනාථයා හා පීඩිතයා සාධාරණ ලෙස විනිශ්චය කළ මැනව.