ගීතාවලිය 101:1-8 SINRV2006 - Bible AI

1දාවිත්ගේ ගීතයකි. කරුණාව හා යුක්තිය ගැන මම ගී ගයන්නෙමි; සමිඳුනි, ඔබ හට පැසසුම් ගී ගයන්නෙමි.

2නිදොස් මඟෙහි සිහි නුවණින් ගමන් කරන්නෙමි. ඔබ කවදා මා වෙත වඩින සේක් ද? පිරිසිදු සිතින් මාගේ නිවෙසහි මම වාසය කරන්නෙමි.

3මාගේ ඇස් කිසි නීච දෙයක් කෙරෙහි නොරඳවන්නෙමි. දෙවිඳුන් කෙරෙන් ඈත් වන්නන්ගේ ක්‍රියා මම නුරුස්සන්නෙමි. ඒවාට මම ඇලුම් නොවන්නෙමි.

4සියලු වංක සිතුවිලි මම ප්‍රතික්ෂේප කරන්නෙමි; නපුරට මම කිසි විටෙක හවුල් නොවන්නෙමි.

5සිය අසල්වැසියාට විරුද්ධ ව රහසින් අපවාද දොඩන්නා මම වනසන්නෙමි; උඩඟු බැල්ම හා අහංකාර සිත ඇත්තා මම නුරුස්සන්නෙමි.

6මා සමඟ වසන පිණිස මම දේශයෙහි සැදැහැවතුන් තෝරාගතිමි. නිදොස් ලෙස දිවි ගෙවන්නෝ මාගේ සේවකයෝ වන්නෝ ය.

7වංචනික කිසිවෙක් මාගේ නිවෙසෙහි නොවසන්නේ ය. මුසාවාදී කිසිවෙක් මා ඉදිරියෙහි නොසිටින්නේ ය.

8දිනෙන් දින දේශයේ සියලු දුදනන් මම වනසන්නෙමි. අයුතුකම් කරන සියල්ලන් මම සමිඳුන්ගේ නුවරින් නෙරපාදමන්නෙමි.

>