1දාවිත්ගේ ගීතයකි. හිමි තුමන් වෙත රැකවරණය මට ඇත. එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?
2අන්න බලන්න, නපුරු දනෝ දුන්න තැත්කවති; අඳුරේ සිට සුදනන් හට විදින පිණිස ඊතල දුනු දියෙහි යොදති.
3පදනම් දෙදරා බිඳ වැටුණොත් දැහැමි අයට කර ගත හැකි දෙයක් වේ ද?
4හිමි තුමාණෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක. එතුමාණන්ගේ සිහසුන සගලොවෙහි ය. හිමි තුමාණෝ සියැසින් ලෝ සත විමසා බලන සේක.
5සමිඳාණෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන සේක; එතුමාණෝ සැහැසිකම් කරන්නාට වෙර බඳින සේක;
6දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.
7හිමි තුමාණෝ දැහැමි ය, ගුණ දහමට ප්‍රිය ඇත්තෙකි. දැහැමි අය එතුමන්ගේ මුහුණ දකින්නෝ ය.