2එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාච්ඤා කරන්නෙමි.
3මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය.
4එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි.
5සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය.
6සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක.
7මාගේ සිත, යළි සන්සුන් වන්න. මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක.
8එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක.
9එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.
10ⓞ“මම බොහෝ පීඩා විඳිමි”යි කී අතර වුව ද මාගේ විශ්වාසය තිර ලෙස රැකගතිමි.
11මා භීතියට පත් ව සිටිය දී, “මිනිසෙකු තුළ බලාපොරොත්තුව තැබීම නිෂ්ඵල ය”යි කීවෙමි.
12සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද?
13මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.
14එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර මම ඉටු කරන්නෙමි.
15සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය.
16සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක.
17මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි; සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි.
18එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර ඉටු කරන්නෙමි,
19සමිඳුන්ගේ මාලිගාවේ මළුවල දීත්, එම්බා ජෙරුසලම! තී මධ්‍යයෙහි දීත් එසේ කරන්නෙමි. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.