1නිදොස් දිවියක් ගත කරන අය, සමිඳුන්ගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය.
2එතුමන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමන් සොයන අය භාග්‍යවන්ත ය.
3එසේ ය, ඔව්හු කිසි නපුරක් නොකරති; ඔව්හු එතුමන්ගේ මාර්ගවල හැසිරෙති.
4අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක.
5ඔබේ පණත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා!
6ඔබේ ආඥා සියල්ලට ඇලුම් ව සිටින විට මම ලජ්ජා නොවන්නෙමි.
7ඔබේ දැහැමි අණපණත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි.
8ඔබේ පණත් පිළිපදින්නෙමි; මා කිසි දා අත් නොහැරිය මැනව.
9තරුණයෙකු තම දිවි මඟ පිවිතුරු ව තබාගන්නේ කෙසේ ද? ඔබේ ආඥාවට කීකරු වීමෙනි.
10මාගේ මුළු සිතින් ඔබ සෙවීමි; ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව.
11ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි.
12සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
13ඔබ ප්‍රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි.
14සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි.
15ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි.
16ඔබේ නියමවලට ප්‍රිය වන්නෙමි; ඔබේ වචනය අමතක නොකරන්නෙමි.
17ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි.
18ඔබේ ව්‍යවස්ථාවෙහි පුදුම අගයන් දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.
19මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි. ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව.
20සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය.
21ඔබේ ආඥාවලට පිටුපා යන, සාපලත් උඩඟු අයට ඔබ තරවටු කරන සේක.
22ඔවුන්ගේ නින්දාවත්, අවමානයත් මා කෙරෙන් පහ කළ මැනව. මන්ද, මම ඔබේ ශික්ෂා පද රක්ෂා කෙළෙමි.
23අධිපතියෝ එක් රැස් ව මට විරුද්ධ ව කුමන්ත්‍රණ කළෝ ය. එහෙත්, ඔබේ මෙහෙකරුවා ඔබේ පණත් භාවනා කරන්නේ ය.
24ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයා ය.
25මම දූවිල්ලෙහි වැතිර සිටිමි. ඔබේ පොරොන්දුව ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
26මා කළ සියල්ල ප්‍රකාශ කෙළෙමි. එවිට ඔබ පිළිතුරු දුන් සේක. දැන් ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
27ඔබේ නියෝග මට තේරුම් කර දුන මැනව. එවිට ඔබේ බලවත් ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි.
28මහද සොවින් උණු වී යයි. ඔබේ පොරොන්දුව ලෙස මා ශක්තිමත් කළ මැනව.
29වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව.
30සත්‍ය මාර්ගය මම තෝරාගතිමි. ඔබේ නීති මා ඉදිරියෙහි තබාගතිමි.
31අහෝ සමිඳුනි! ඔබේ ශික්ෂා පදවලට ඇලුම් වෙමි. මා ලජ්ජාවට නොපැමිණෙවුව මැනව.
32ඔබ මාගේ දැනුම පුළුල් කරන විට ඔබේ ශික්ෂා මාර්ගයෙහි යුහු ව ගමන් කරන්නෙමි.
33සමිඳුනි, ඔබේ ශික්ෂා මාර්ගය මට ඉගැන්නුව මැනව. එය දිවි හිමියෙන් මම පිළිපදින්නෙමි.
34මට මනා අවබෝධය දුන මැනව. එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි.
35ඔබේ ශික්ෂා මාර්ගයෙහි මා කැඳවාගෙන යනු මැනව. මන්ද, එය මාගේ ප්‍රීතිය වේ.
36අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව.
37නිසරු දේ නැරඹීමෙන් මාගේ නෙත් වැළකුව මැනව; ඔබේ වචනයෙන් මා ප්‍රාණවත් කළ මැනව.
38ඔබ කෙරෙහි ගරුබිය ඇත්තන් හට ඔබ දෙන පොරොන්දුව ඔබේ මෙහෙකරුවාට ඉටුකර දුන මැනව.
39මා තුළ බිය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව. මන්ද, ඔබේ විශ්වාසවන්තකම යහපත් ය.
40ඔබේ නියෝගයන්ට ආශා වීමි. ඔබේ දැහැමි බවෙහි මා ප්‍රාණවත් කළ මැනව.
41සමිඳුනි, ඔබේ පොරොන්දුව පරිදි ඔබේ තිර පෙම පෙන්වා වදාළ මැනව. එනම්, ඔබේ ගැළවීම මා වෙත එවා වදාළ මැනව.
42එවිට මට නින්දා කරන්නාට දිය යුතු පිළිතුරක් මට ඇති වන්නේ ය. මන්ද, මම ඔබේ වචනය විශ්වාස කරමි.
43සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව. මන්ද, ඔබේ විනිශ්චයයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි.
44මෙසේ ඔබේ ව්‍යවස්ථාව සදහට ම නොකඩවා පිළිපදින්නෙමි.
45මම නිදහස් ලෙස හැසිරෙන්නෙමි. මන්ද, ඔබේ නියෝග අනුව මම ජීවත් වීමි.
46රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි; ලජ්ජාවට පත් නොවන්නෙමි.
47මා සිත් ගත් ඔබේ ආඥාවන් කෙරෙහි ප්‍රීති වන්නෙමි.
48මා සිත් ගත් ඔබේ ආඥාවලට ගරුසරු දක්වා ඔබේ පණත් ගැන භාවනා කරන්නෙමි.
49ඔබේ මෙහෙකරුවා වන මට ඔබ දුන් පොරොන්දුව සිහිකළ මැනව. ඔබ එය ගැන බලාපොරොත්තුව මා තුළ ඇතිකළ සේක.
50ඔබේ පොරොන්දුව මා ප්‍රාණවත් කළ බැවින් මාගේ දුකේ දී එය මාගේ සැනසීම විය.
51උඩඟු අය මට අතිශයින් අපහාස කළෝ ය. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාවෙන් ඉවත් ව නොයන්නෙමි.
52සමිඳුනි, ආදියේ සිට පැවති ඔබේ විනිසුම් සිහි කොට සැනසීම ලබා ගතිමි.
53ඔබේ ව්‍යවස්ථාව අත්හරින අදමිටුවන් දකින විට මා තුළ කෝපාග්නිය ඇවිළී යයි.
54මාගේ මේ ලුහුඬු ජීවිත ගමනේ දී ඔබේ පණත් ගැන ගී ගයමි.
55සමිඳුනි, රාත්‍රියේ දී ඔබේ නාමය සිහි කරන්නෙමි; ඔබේ ව්‍යවස්ථාව පිළිපදින්නෙමි.
56මේ ආසිරි මට ලැබුණේ, මා ඔබේ නියෝග රක්ෂා කළ නිසා ය.
57සමිඳුනි, මාගේ එක ම සම්පත ඔබ ය. ඔබේ නියෝග පවත්වන්නට පොරොන්දු වෙමි.
58මාගේ මුළු සිතින් ඔබේ කරුණාව ඉල්ලමි. ඔබේ පොරොන්දුව පරිදි මට කරුණා කළ මැනව.
59මම මාගේ හැසිරීම ගැන සිහිකර ඔබේ ශික්ෂා පද දෙසට යළි හැරෙන්නෙමි.
60මම ඔබේ ආඥා පිළිපැදීමට පමා නොවී ඉක්මන් වීමි.
61දුදනන් මට උගුලක් අටවා ඇත. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාව අමතක නොකෙළෙමි.
62ඔබේ දැහැමි නියෝග නිසා මැදියම් රැයේ ඔබට ස්තුති කරන්න මම අවදි වන්නෙමි.
63මම ඔබ කෙරෙහි ගරුබිය ඇති සියල්ලන්ගේ ද ඔබේ නියෝග පවත්වන්නන්ගේ ද මිතුරෙක් වෙමි.
64සමිඳුනි, පොළොව ඔබේ තිර පෙමින් පිරී තිබේ. ඔබේ පණත් මට ඉගැන්වුව මැනව.
65සමිඳුනි, ඔබේ පොරොන්දුව ප්‍රකාර ඔබේ මෙහෙකරුවාට ඔබ යහපත කළ සේක.
66මට තියුණු නැණනුවණ හා දැනුම දුන මැනව. මන්ද, මම ඔබේ ආඥා විශ්වාස කරමි.
67පීඩා විඳින්නට පෙර මම මුළා ව ගියෙමි. එහෙත් දැන්, ඔබේ වචනයට කීකරු වෙමි.
68ඔබ යහපත් ය; යහපත කරන සේක. ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
69උඩඟු අය මට විරුද්ධ ව බොරු ගොතා ඇත. එහෙත්, මාගේ මුළු සිතින් ඔබේ නියෝගවලට කීකරු වන්නෙමි.
70ඔවුන්ට දැඩි සිතක් ඇත; එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි.
71පීඩා විඳීම මට යහපතක් විය; එයින් ඔබේ පණත් ඉගෙනගතිමි.
72ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගේ ය.
73සිය’තින් මා මවා, රක්නා සමිඳුනි, ඔබේ ආඥා ඉගෙනගන්න පිණිස මට නුවණ දුන මැනව.
74ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා දැක සතුටු වන්නෝ ය. මන්ද, මම ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි.
75සමිඳුනි, ඔබේ විනිශ්චයයන් සාධාරණ බවත්, ඔබ විශ්වාසවන්ත නිසා මට පීඩා කළ බවත් දනිමි.
76ඔබේ මෙහෙකරුවාට ඔබ පොරොන්දු වූ පරිදි ඔබේ මහ කුළුණු ගුණය මාගේ සැනසීම පිණිස වේ වා!
77මා ජීවත් වන පිණිස මට අනුකම්පා කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ.
78උඩඟු අය අයුතු ලෙස මා හෙළා දැමූ බැවින්, ඔව්හු ලජ්ජාවට පැමිණෙත් වා! එහෙත්, මම ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි.
79ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා වෙත හැරී එත් වා! එවිට ඔව්හු ඔබේ ශික්ෂා පද තේරුම්ගන්නෝ ය.
80මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පණත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව.
81මගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි.
82‘ඔබ කවදා මා සනසන සේක් දැ’යි මම යදින්නෙමි. ඔබේ පොරොන්දු ගැන බලා සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත.
83ඇකිළී ගිය ලබු කැටයක් මෙන් මම නිසල් වීමි. එහෙත්, ඔබේ පණත් අමතක නොකරමි.
84ඔබේ මෙහෙකරුවා තව කොතෙක් කල් බලා සිටින්න ද? මට පීඩා කරන්නන්ට ඔබ කවදා යුක්තිය ඉටු කරන සේක් ද?
85ඔබේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන උඩඟු අය මට බොරු වළවල් හෑරුවෝ ය.
86ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය. මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති. මට පිහිට වුව මැනව.
87ඔවුන් සහමුලින් ම මෙන් මා මිහි පිටින් වනසාදමා ඇත. එහෙත්, මම ඔබේ නියෝග අත් නොහරිමි.
88ඔබේ මහා කරුණාව ලෙස මා පණ ගැන්වුව මැනව. එවිට මම, ඔබ වදාළ ශික්ෂා පද පිළිපදින්නෙමි.
89සමිඳුනි, ඔබේ වචනය සදාතනික ය; එය තිර ලෙස සගලොව ඇත.
90ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවත්නේ ය. ඔබ පොළොව පිහිටෙවු සේක. එය ස්ථිර ව පවතී.
91ඔබේ නියමයන් ලෙස ඒ මැවිලි අද දක්වා පවතී. මන්ද, සියල්ල ඔබට මෙහෙ කරයි.
92ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපතේ දී මා වැනසෙන්නට ඉඩ තිබුණේ ය.
93ඔබේ නියෝග කිසි කලෙක අමතක නොකරන්නෙමි. මන්ද, ඔබ ඒවායින් මා පණ ගැන්වූ සේක.
94මම ඔබේ ය; මා මුදාලුව මැනව. ඔබේ නියෝග මම මෙනෙහි කෙළෙමි.
95දුෂ්ටයෝ මා විනාශ කරන්නට බලා සිටියෝ ය. එහෙත්, මම ඔබේ ශික්ෂා පද සාවධානයෙන් මෙනෙහි කරන්නෙමි.
96හැම යහපතකට ම සීමාවක් ඇති බව මා දැක ඇත. එහෙත්, ඔබේ ආඥාවට නම් සීමාවක් නැත.
97ඔබේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම් ද? එය මාගේ දෛනික භාවනාව වේ.
98ඔබේ ආඥා නිතර ම මා සමඟ ය. එයින් මාගේ සතුරන්ට වඩා මම පැණවත් වෙමි.
99මාගේ සියලු ඇදුරන්ට වඩා මට නැණනුවණ ඇත්තේ ය. මාගේ භාවනාව ඔබේ ශික්ෂා ගැන ම ය.
100මා ඔබේ නියෝග රක්ෂා කළ බැවින් වැඩිහිටියන්ට වඩා තේරුම් පැහැදුම් මට ඇත්තේ ය.
101ඔබේ වචනය පිළිපදින පිණිස සියලු වැරදි මාර්ගවලින් මාගේ පාද වළක්වාගතිමි.
102ඔබේ නියමයන්ගෙන් ඉවත් ව නොගියෙමි. ඔබ ම මට ඒවා ඉගැන්වූ සේක.
103ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද? එසේ ය, ඒවා මාගේ කටට මී පැණිවලට වඩා මිහිරි ය.
104ඔබේ නියෝග මඟින් මට නැණනුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග මම නුරුස්සන්නෙමි.
105ඔබේ වචන මාගේ දෙපයට පහනක් ය; මාගේ මාවතට එළියක් ය.
106‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි. මම ඒවා ඉටු කෙළෙමි.
107මම බොහෝ සේ පීඩිත වීමි. සමිඳුනි, ඔබේ පොරොන්දු ප්‍රකාර මා ප්‍රාණවත් කළ මැනව.
108සමිඳුනි, මාගේ මුවින් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබේ නියමයන් මට ඉගැන්නුව මැනව.
109ඔබ උදෙසා මාගේ දිවි පිදීමට මම නිතර ම සූදානම් ය. එහෙත්, ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකරමි.
110දුදනෝ මට මලපතක් තැබුවෝ ය. එහෙත් මම, ඔබේ නියෝගවලින් ඉවත් ව නොගියෙමි.
111ඔබේ ශික්ෂා පද සදහට ම උරුම කොටගතිමි. ඒවා මසිතට ප්‍රීතිය ගෙන දෙයි.
112සදහට ම, මරණය දක්වා ඔබේ පණත් ඉටු කරන්න මාගේ සිත යොමු කෙළෙමි.
113චපල සිත් ඇත්තවුන්ට ද්වේෂ කරමි; එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.
114ඔබ මාගේ රක්ෂාස්ථානය වේ, මාගේ පලිහ වේ. ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි.
115දුදනෙනි, මා වෙතින් පලා යන්න. මම මාගේ දෙවිඳුන්ගේ ආඥාවන් පිළිපදිමි.
116මා ජීවත් වන පිණිස ඔබේ පොරොන්දු ප්‍රකාර මට ශක්තිය දුන මැනව. මාගේ බලාපොරොත්තුව කඩ වීමෙන් ලජ්ජා වන්නට ඉඩ නෑරිය මැනව.
117මට අනුබල දුන මැනව; එවිට මම සුරැකි ව සිටින්නෙමි. ඔබේ පණත් නිතර ම සලකන්නෙමි.
118ඔබේ පණත්වලින් ඉවත් ව යන සියල්ලන් ඔබ පිළිකෙව් කළ සේක. ඔවුන්ගේ කපටිකම නිෂ්ඵල ය.
119ඔබ පොළොවේ සියලු දුෂ්ටයන් කුණු කසළ මෙන් පහකරන සේක. එබැවින් මම ඔබේ ශික්ෂා පදවලට ප්‍රේම කරමි.
120ඔබට බියෙන් මාගේ ගත සිත වෙවුලයි. ඔබේ විනිශ්චයයන්ට මම බිය වෙමි.
121යුතු දේ ද දැහැමි දේ ද මම කෙළෙමි; මට පීඩා කරන්නන් අතට මා භාර නොකළ මැනව.
122ඔබේ මෙහෙකරුවාට යහපත කරන බවට පොරොන්දු වන්න. මට පීඩා කිරීමට උඩඟු අයට ඉඩ නුදුන මැනව.
123ඔබ දෙන ගැළවීම හා ඔබේ දැහැමි පොරොන්දුව ගැන අවදි ව සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත.
124ඔබේ ප්‍රේමය අනුව ඔබේ මෙහෙකරුවාට නිසි ලෙස සලකන්න. ඔබේ පණත් මට උගන්වන්න.
125මම ඔබේ මෙහෙකරුවා වෙමි. ඔබේ ශික්ෂා පද දැනගන්න පිණිස මට නැණනුවණ දුන මැනව.
126සමිඳුනි, ඔබට ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන් පැමිණ ඇත. සෙනඟ ඔබේ ව්‍යවස්ථාව කඩකර ඇත.
127එබැවින් රනට වඩා, එසේ ය, පෙරූ රනට වඩා ඔබේ ආඥාවලට මම ප්‍රේම කරමි.
128එබැවින් ඔබේ නියමය අනුව මම හැසිරෙන්නෙමි; සියලු වංක මාර්ග නුරුස්සමි.
129ඔබේ අණපණත් විස්මයජනක ය. එබැවින් මාගේ මුළු සිතින් මම ඒවා පිළිපදින්නෙමි.
130ඔබේ වචන පැහැදිලි වන විට ආලෝකය ලැබේ. එයින් අනුවණයන්ට නුවණ ලැබේ.
131ඔබේ ආඥාවලට පිපාසයෙන් සිටිමි. මම මුව අයා හතිලන්නෙමි.
132ඔබේ නාමයට ප්‍රේම කරන අයට ඔබ කරුණා කරන්නාක් මෙන් මා දෙසට හැරී මට කරුණා කළ මැනව.
133ඔබ පොරොන්දු වූ ලෙස මා දෙපා තර කළ මැනව; කිසි අයුක්තියකට මා කෙරෙහි බල පෑමට ඉඩ නුදුන මැනව.
134මිනිසුන්ගේ හිරිහැරවලින් මා මුදාලුව මැනව; එවිට ඔබේ නියෝග මම පිළිපදින්නෙමි.
135දයාවෙන් මා දෙස බැලුව මැනව; ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
136මිනිසුන් ඔබේ ව්‍යවස්ථාව නොපිළිපදින බැවින් මාගේ දෑසින් කඳුළු ධාරා ගලා යයි.
137සමිඳුනි, ඔබ දැහැමි ය; ඔබේ විනිසුම් සාධාරණ ය.
138ඔබ දැහැමිකමින් ද තිර විශ්වාසකමින් ද ඔබේ ශික්ෂා පද නියම කළ සේක.
139මාගේ එදිරිකරුවන් ඔබේ වචනය නොසලකන නිසා මම කෝපාග්නියෙන් දැවෙමි.
140ඔබේ පොරොන්දු සහතික ය. එබැවින් ඔබේ මෙහෙකරුවා ඒවාට ප්‍රේම කරයි.
141මම සුළු කෙනෙක්මි; හීන දීන කෙනෙක්මි. එහෙත්, ඔබේ නියෝග අමතක නොකරමි.
142ඔබේ දැහැමිතාව සදාකාලික දැහැමිතාවක් වේ; ඔබේ ව්‍යවස්ථාව ද සත්‍ය වේ.
143විපත හා සිත් තැවුල් මා වෙළාගෙන තිබේ. එහෙත්, ඔබේ ආඥා මාගේ ප්‍රීතිය වේ.
144ඔබේ ශික්ෂා පද සදහට ම දැහැමි ය. මා ජීවත් වන පිණිස මට නැණනුවණ දුන මැනව.
145මම මුළු හදවතින් යාච්ඤා කෙළෙමි. සමිඳුනි, මට පිළිතුරු දුන මැනව. ඔබේ අණපණත් මම පිළිපදින්නෙමි.
146මම ඔබට අඬගැසීමි; මා මුදාලුව මැනව. එවිට ඔබේ ශික්ෂා පද මම පිළිපදින්නෙමි.
147මම අලුයමට පෙර නැඟිට මොරගැසීමි; ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තු වීමි.
148ඔබේ පොරොන්දුව ගැන භාවනා කරන පිණිස රෑ යාමය මුළුල්ලේ මම අවදි ව සිටිමි.
149ඔබේ ප්‍රේමය ස්ථිර නිසා මාගේ හඬ ඇසුව මැනව. සමිඳුනි, ඔබේ යුක්තිය ලෙස මා දිවි රැකගත මැනව.
150නපුරු අරමුණු ඇති ව මට පීඩා කරන දුදනෝ මට ළඟා වෙති. ඔව්හු ඔබේ ව්‍යවස්ථාවෙන් ඈත් ව සිටිති.
151සමිඳුනි, ඔබ ළඟා වී සිටින සේක. ඔබේ සියලු ආඥා සත්‍ය ය.
152ඔබේ ශික්ෂා පද කලක සිට දැන සිටියෙමි. ඔබ ඒවා සදහට ම පැණවූ සේක.
153මාගේ දුක බලා මා ගැළෙවුව මැනව. ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකෙළෙමි.
154මාගේ නඩුව අසා මා මිදුව මැනව; ඔබේ පොරොන්දුව ලෙස මට නව දිවියක් දුන මැනව.
155දුදනන් හට ගැළවීමක් නැත; ඔව්හු ඔබේ පණත් නොසලකති.
156සමිඳුනි, ඔබේ අනුකම්පාව ඉමහත් ය. ඔබේ නියමයන් ලෙස මට නව දිවියක් දුන මැනව.
157මට පීඩා කරන්නෝ ද මාගේ එදිරිකාරයෝ ද බොහෝ ය. එහෙත් මම, ඔබේ ශික්ෂා පදවලින් ඉවත් ව නොගියෙමි.
158ද්‍රෝහිකම් කරන්නන් දැක මම ඔවුන් පිළිකුල් කෙළෙමි. ඔව්හු ඔබේ නියමයන් නොපිළිපදිති.
159ඔබේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි සිතා බැලුව මැනව. සමිඳුනි, ඔබේ පෙම තිර නිසා මට නව දිවියක් දුන මැනව.
160ඔබේ ව්‍යවස්ථාවේ හරය සත්‍යය වේ. ඔබේ සියලු දැහැමි විනිසුම් සදහට පවත්නේ ය.
161අධිපතීහු නිකරුණේ මට පීඩා කළෝ ය. එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ගරු කරමි.
162මහා නිධානයක් ලබන කෙනෙකු මෙන් මම ඔබේ පොරොන්දුව ගැන ප්‍රීතිමත් වෙමි.
163මුසාවට ද්වේෂ කරමි; එය පිළිකුල් කරමි. එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.
164ඔබේ දැහැමි විනිශ්චයයන් නිසා දවසට සත් වරක් මම ඔබට ප්‍රශංසා කරමි.
165ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට ඉමහත් සාමයක් ඇත. කිසි අවහිරයක් ඔවුන්ට නැත.
166සමිඳුනි, ඔබේ ගැළවීම ගැන උදක් ම බලා සිටිමි. ඔබේ ආඥා ඉටු කෙළෙමි.
167මම ඔබේ ශික්ෂා පද පිළිපැදීමි. මම ඒවාට බොහෝ සෙයින් ප්‍රේම කරමි.
168මම ඔබේ නියෝග හා ශික්ෂා පද පිළිපැදීමි. මාගේ දිවි මඟ ඔබ ඉදිරියෙහි ය.
169සමිඳුනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේ වා! ඔබේ පොරොන්දුව අනුව මට නැණනුවණ දුන මැනව.
170මාගේ අයැදීම ඔබ ඉදිරියට පැමිණේ වා! ඔබේ පොරොන්දුව ලෙස මා මිදුව මැනව.
171ඔබේ පණත් ඔබ මට උගන්වන බැවින් මා මුව ඔබට පැසසුම් ගී පිළිරැව් දේ වා!
172ඔබේ සියලු ආඥා සාධාරණ ය; මම ඔබේ ව්‍යවස්ථාව ගැන ගී ගයමි.
173ඔබේ හස්තය මට උපකාර පිණිස සූදානම් වේ වා! මම ඔබේ නියෝග අනුව යමි.
174සමිඳුනි, මම ඔබ දෙන ගැළවීමට ආසා වෙමි. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ.
175ඔබට ප්‍රශංසා කරන පිණිස මට ජීවත් වන්නට ඉඩ දුන මැනව. ඔබේ නියමයෝ මට උපකාරවත් වෙත් වා!
176නැති වූ බැටළුවෙකු මෙන් මම මුළා ව ගියෙමි. ඔබේ මෙහෙකරුවා වන මා සොයා එනු මැනව. මම ඔබේ ආඥා අමතක නොකරමි.