1දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, පිහිට වුණ මැනව. සැදැහැවතුන් ඉතිරි ව නැත. විශ්වාසවන්තකම ලොවින් තුරන් වී ඇත.
2මිනිසා මිනිසාට බොරු පවසයි; චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි.
3සමිඳුනි, ඔවුන්ගේ චාටු බස් නවත්වන්න; පුරසාරම් නැති කරන්න.
4ඔව්හු මෙසේ උදන් අනති: “අප රිසි දෙය අපි කියමු; කුමට ද අප නිහඬ වන්නේ? කවුරු ද එය නවතන්නේ?”
5අප සමිඳාණෝ මෙසේ වදාරති: “පිහිටක් නැති දිළිඳා තළාපෙළා දමන නිසා, ඒ දුක මට ඇසෙන නිසා, මම දැන් එහි වැඩම කරමි; ඔවුන් පතන රැකවරණය සලසා දෙමි.”
6කෝවෙහි සත්වරක් දමා උණු කරන ලද රිදී මෙන් සමිඳුන් බස් සුපිරිසිදු ය.
7සමිඳුනි, අප රැකගත මැනව; කුදිටු අනාචාරික පරපුරකින් අප නිරතුරු රැකගත මැනව.
8පවිටු දනෝ ඔබමොබ යති. රට සැම දෙස දුසිරිත වැජඹෙයි.