1දාවිත්ගේ ගීතයකි. ⓞ“දෙවි කෙනෙක් නැතැ”යි අනුවණයෝ සිතින් සිතති. එවැනි අය අධම කුදිටු දේ ම කරති; යහපත කරන කිසිවෙක් ඔවුන් අතර තවත් නැත.
2සමිඳාණෝ සුරලොව සිට බලන සේක; මිනිස් ලොවෙහි නැණවත් අය, දෙවිඳුන් වැඳ පුදන අය, ඇද්දැ යි විමසන සේක.
3ඔවුන් සියල්ලන් ම මුළා ව ගොස් ඇත; සව් සත කෙලෙස් මලින් පිරී ඇත. හොඳක් කරන කිසිවෙක් නැත; ඇත්තට ම නැත.
4කෑම කන්නාක් මෙන් මාගේ සෙනඟ කා දමන, මා හට අයැදුම් නොකරන, අදමිටු මේ අයට සිහි නුවණ නැද් ද?
5දෙවි තුමන් තමන් කීකරු අයට ළං ව වැඩ වසන බැවින්, පවිටු දනෝ මහත් බියෙන් ඇලළී යති.
6පවිටු දනෝ දිළිඳුන්ගේ සිතුම්පැතුම් ව්‍යර්ථ කරති. එහෙත්, සමිඳාණෝ ඔවුන්ගේ සරණ වන සේක.
7සියොන් කන්දෙන් විමුක්තිය පැමිණියොත් කෙතරම් හොඳ ද? හිමි තුමන් සිය සෙනඟට සැප සම්පත දුන් විට, ජාකොබ් පෙළපතට කොපමණ ප්‍රීතියක් ද? ඉශ්රායෙල් සෙනඟට කොපමණ සතුටක් ද?