1සමිඳුන්ට ප්‍රශංසා කරන්න. මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
2දිවි හිමියෙන් සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමි. දිවි ඇති තාක් මා දෙවිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි.
3රජ කුමරුන් කෙරෙහි වත්, පිහිට විය නොහැකි කිසි ම මිනිසෙකු කෙරෙහි වත් විශ්වාසය නොතබන්න.
4මිනිසා අන්තිම හුස්ම හෙළයි; පසට ආපසු හැරෙයි; එදින ම ඔහුගේ යෝජනා සුන් වී යයි.
5ජාකොබ්ගේ දෙවිඳුන් සරණ පතන, සිය දෙවි සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තේ වාසනාවන්ත ය.
6ⓡඑතුමාණෝ අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ සේක. එතුමාණෝ සදාකල් ම විශ්වාසී ව සිටින සේක.
7සමිඳාණෝ පීඩා විඳින්නන්ට යුක්තිය ඉටු කර දෙන සේක; සාගිනි වූවන්ට ආහාර දෙන සේක;
8එතුමාණෝ සිරකරුවන් මුදන සේක; අන්ධයන්ගේ ඇස් පහදන සේක; වැටී ගියවුන් නඟා සිටුවන සේක; සමිඳාණෝ දමිටුන්ට ප්‍රේම කරන සේක.
9විදේශීන් ආරක්ෂා කරන සේක; අනාථයන්ට හා වැන්දඹුවන්ට උපකාර කරන සේක; එහෙත්, දුදනාගේ යෝජනා සුන් කරන සේක.
10සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක. එම්බා සියොන් නගරය! ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!