1දාවිත්ගේ මික්තාම් නම් කාව්‍යයකි. දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව.
2මම මෙසේ කීමි: “සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.”
3මිහි මත වසන බැතිමත්හු උතුම් වන්නෝ ය; ඔවුන් පිළිබඳ විපුල සතුටක් මට ඇත්තේ ය.
4අන් දෙවි පිහිටක් පතා දුවන අයගේ දුක බොහෝ වන්නේ ය. පානීය ලේ පූජා මම ඔවුන්ට නොපුදන්නෙමි; ඔවුන්ගේ නාම මා මුවින් නොපවසන්නෙමි.
5සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.
6මාගේ වතු පිටිවල සීමා රම්‍ය තැන්වල පිහිටා ඇත්තේ ය. මා සතු උරුමය ප්‍රියංකර ය.
7මට උවදෙස් දෙන හිමි තුමන් හට තුති කරන්නෙමි. රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය.
8ⓟහිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි.
9එබැවින් මසිත උදන් අනයි; මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය; මා ගත සුරැකි ව ඇත්තේ ය.
10ⓠමන්ද, ඔබ මා පාතාලයෙහි නොරඳවන සේක; ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක.
11ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.