1දාවිත්ගේ යාච්ඤාවකි. සමිඳුනි, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි.
2මා ගැන නඩු තීන්දුව ඔබෙන් ම පැමිණේ වා! ඔබේ දෙනෙතට යුක්තිය පෙනේ වා!
3ඔබ මසිත උරගා බැලූ සේක; රාත්‍රියේ මා පරීක්ෂා කළ සේක; ඔබ මා විමසා බැලූ සේක; එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක.
4අන් අය මෙන් මම නපුර කතා නොකෙළෙමි. ඔබේ නීති පිළිපැද්දෙමි; සැහැසි ක්‍රියා මාර්ගයෙන් වැළකී සිටියෙමි.
5ඔබ පැවසූ දහම් මඟෙහි ගමන් කෙළෙමි. ඉන් ඉවත් ව මා ඉක්ම ගියේ නැත.
6දෙවිඳුනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි. මා අයැදුමට කන් යොමු කළ මැනව; මාගේ බස් ඇසුව මැනව.
7මිදුම්කරුනි, ඔබේ දකුණු අතින් සතුරු බියෙන් අප ගළවනු මැනව; ඔබේ අසිරිමත් පෙම හෙළි කළ මැනව.
8ඔබේ ම දෙනෙත රක්නා සේ මා රැකගන්න; ඔබ පියාපත් සෙවණෙහි සුරැකි ව මා සඟවන්න.
9වෙර බැඳ මා අවටින් සිටින සතුරන්ගෙන් ද මා කොල්ලකන දුදනන්ගෙන් ද මා රැකගන්න.
10මා සතුරන්ට දයාව නැත; ඔව්හු උඩඟුකමින් බස් තෙපලති.
11මා වටකර සැම දෙසින් බලා සිටිති; මා බිම හෙළීමට මාන බලති.
12ඔව්හු ගිජු ලෙස ගොදුර බලා යන සිංහයෙකුට සමාන ය; රහසිගත ව රැක සිටින තරුණ සිංහයෙකුට සමාන ය.
13සමිඳුනි, නැඟිටිනු මැනව; මාගේ සතුරන්ට මූණ දී ඔවුන් පරාජය කළ මැනව; ඔබේ කඩුපත ලෙලවා දුදනන්ගෙන් මා මිදුව මැනව;
14ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව. දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත. ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව; ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව.
15මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.