1ⓑජාතීන් විප්ලවයට සැරසෙනුයේ මන් ද? ජනතාවන් නිස්සාර කුමන්ත්‍රණ කරනුයේ මන් ද?
2සමිඳාණන්ට ද එතුමන්ගෙන් අබිසෙස් ලත් නිරිඳාණන්ට ද මහීපාලයෝ විරෝධී ව නැඟිට සිටින්නෝ ය; අධිපතිවරු එක් රැස් වී උපා යොදන්නෝ ය.
3අප හිර කර ඇති විලංගු බිඳදමමින්, යදම් කඩාදමමින් ‘අපි නිදහස ලබමු’යි ඔව්හු පවසන්නෝ ය.
4සගලොව සිහසුන් අරා වැඩ සිටින උත්තමයාණෝ සිනාසෙන සේක.
5සමිඳාණෝ ඔවුන් හට පරිහාස කරන සේක; එකල උන් වහන්සේ කෝපයෙන් ඔවුන්ට තරවටු කරන සේක; උදහසින් ඔවුන්ට තර්ජන කරන සේක.
6මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි.
7ⓒමම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි.
8නුඹ කැමැති දෙයක් මාගෙන් අයැදින්න. සකල ජාතීහු නුඹ උරුමය වන්නෝ ය; මුළු මහ පොළොව ද නුඹ සන්තක වන්නේ ය.
9ⓓනුඹ දරදඬු පාලනයකින් ඔවුන් සිඳබිඳ, මැටි බඳුනක් සේ සුණු විසුණු කර ඇතැ”යි වදාරන සේක.
10රජවරුනි! ඒ නිසා සිහි පරීක්ෂාකාරී ව සිටින්න. භූපතිවරුනි! මෙයින් ගුරුකම් සිතට ගන්න.
11සමිඳුන් හට ගරුබියෙන් සේවය කරන්න;
12බියෙන් ඇලළෙමින්, රජිඳුන් පා සිඹගන්න. නැතහොත් එතුමාණන් උදහසින් විගසින් ඔබ වැනසෙනු ඇත. මන්ද, එතුමන් උදහස වහා ඇවිලෙන්නේ ය. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය.