1දාවිත්ගේ ගීතයකි. විපත්ති දවසේ දී හිමි තුමාණෝ ඔබට පිළිතුරු දෙන සේක් වා! ජාකොබ්ගේ දෙවිඳාණෝ ඔබට බලකොටුවක් වන සේක් වා!
2එතුමාණෝ ශුද්ධස්ථානයෙන් ඔබට පිහිට එවා, සියොන් කන්දේ සිට ඔබ බලවත් කරන සේක් වා!
3ඔබේ පුද පූජා සියල්ල සිහි කරන සේක් වා! ඔබේ දවන යාග පූජා පිළිගන්න සේක් වා!
4ඔබේ මන දොළ ඉටු කරන සේක් වා! ඔබේ පැතුම් සාර්ථක කරන සේක් වා!
5ඔබේ ජය සිරි ගැන අපි තුති පසස් නඟමු; අපේ දෙවිඳුන් නමින් ජය කෙහෙලි නංවමු. සමිඳාණෝ නුඹේ සියලු අයැදුම් ඉටු කරන සේක් වා!
6හිමි සඳ සිය අබිසෙස් ලත් අය මුදන බව දනිමි. සමිඳාණෝ, සිය සුපිරිසිදු සගලොව සිට සිය දකුණතේ විමුක්ති ශක්තියෙන් ඔහුට පිළිතුරු දෙන සේක.
7සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති. එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු.
8ඔව්හු වකුටු වී වැටෙන්නෝ ය. එහෙත්, අපි නැඟිට කෙළින් සිටිමු.
9සමිඳුනි, රජතුමා මිදුව මැනව; අප යදින විට පිළිතුරු දුන මැනව.