2මාගේ දෙවියෙනි ඔබ කෙරේ විශ්වාසය තබමි. මා ලජ්ජාවට පත් වන්න ඉඩ නුදුන මැනව; මා පරදා ජය හඬ නඟන්න මා සතුරන්ට ඉඩ නොතැබුව මැනව.
3ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. හිතුවක්කාර ලෙස විශ්වාසය කඩ කරන අය පරාජය වන්නෝ ය.
4සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව.
5ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව; මට එය ඉගැන්නුව මැනව; මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය. දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි.
6සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව. මේවා ඔබේ චිරාගත ගුණාංගයෝ ය.
7සමිඳුනි, මාගේ යොවුන් වියේ පාප ද අපරාධ ද සිහි නොකළ මැනව. සමිඳුනි, ඔබේ යහපත්කම ද මහා කරුණාව ද අනුව මා සිහි කළ මැනව.
8සමිඳාණෝ යහපත් ය; අවංක ය. එතුමාණෝ පවිටුන් හට යා යුතු මාර්ගය උගන්වන සේක.
9එතුමාණෝ නිහතමානී අය යුක්තියෙහි හසුරුවන සේක. එතුමාණෝ යටහත් පහත් අයට තම මාර්ගය උගන්වන සේක.
10හිමි තුමන්ගේ ගිවිසුම හා ශික්ෂා පද පිළිපදින අයට එතුමන්ගේ සියලු මාවත් කරුණාවේ හා සත්‍යයේ මාවත් වනු ඇත.
11හිමි සමිඳුනි, මාගේ අයුතුකම් මහත් බැවින්, ඔබේ නාමය නිසා, මට කමාවුව මැනව.
12සමිඳුන් කෙරේ ගරුබිය ඇති අය හට ඔහු යා යුතු මඟ එතුමාණෝ පහදා දෙන සේක.
13ඔහු සුව සේ වාසය කරයි; ඔහුගේ වංශයට දේශය හිමි වෙයි.
14හිමි තුමන්ගේ රහස් සැලැස්ම එතුමාණන් කෙරේ ගරුබිය දක්වන අයට පෙන්වා ඇත; එතුමාණන් ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වා ඇත.
15මාගේ දෙනෙත නිරතුරු හිමි සමිඳාණන් දෙසට යොමුව ඇත; මන්ද, එතුමාණෝ මාගේ දෙපා සතුරාගේ දැලෙන් මුදාගන්න සේක.
16මා දෙස බලා මට කරුණා කළ මැනව. මන්ද, මම අසරණවෙමි; පීඩිතවෙමි.
17මසිත දුකින් පිරී ඇත; මාගේ විපත්වලින් මා මිදුව මැනව.
18මාගේ දුක්ගැනවිලි හා වේදනා කල්පනාවට ගත මැනව; මාගේ සියලු පව් කමා කළ මැනව.
19බලන්න, මාගේ සතුරෝ බොහෝ ය. කෲර වෛරයෙන් ඔව්හු මට වෙර බඳිති.
20මා රැකවල් කොට මා මිදුව මැනව. ඔබ කෙරේ විශ්වාසය තැබූ මම පරාජය නොවෙම් වා!
21සත්‍යය හා අවංකකම මාගේ රැකවරණ වේ වා! මාගේ බලාපොරොත්තුව ඔබ ය.
22දෙවිඳුනි, ඉශ්රායෙල් ජනතාව සියලු ආපදාවලින් මිදුව මැනව.