ගීතාවලිය 26:1-12 SINRV2006 - Bible AI

1දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, මා ගැන යුක්තිය ඉටු කළ මැනව. මන්ද, මාගේ හැසිරීම නිදොස් ය. සමිඳුන් කෙරේ අචල විශ්වාසයක් මට ඇත.

2සමිඳුනි, මා සෝදිසි කොට, පරීක්ෂා කර බැලුව මැනව; මාගේ සිත හා මනස විමසා බැලුව මැනව.

3ඔබේ මහා කරුණාව මාගේ දෙනෙතින් දිටිමි. ඔබට විශ්වාසී ව දවස් යැවීමි.

4මම වැදගැම්මකට නැති මිනිසුන් සමඟ නොහැසිරෙමි; කෛරාටිකයන් ඇසුරු නොකරමි.

5දුදනන්ගේ සමාගමට මම තදින් ම විරුද්ධ ය. ඔවුන් සමඟ පයිරුපාසනයක් මාගේ නැත.

6නිදොස් බව දැක්වීමට මාගේ අත් සෝදා, සමිඳුනි, ඔබේ පුදසුන පැදකුණු කරන්නෙමි.

7සමිඳුනි, තුති ගොස පතුරා හරින පිණිසත්, ඔබේ අසිරිමත් ක්‍රියා පසසන පිණිසත් මම එසේ කරමි.

8සමිඳුනි, ඔබේ වාසභවනයටත්, ඔබ තේජසින් වැජඹෙන මන්දිරයටත් මම ප්‍රේම කරමි.

9පවිටුන් හා සමඟ මා විනාශ නොකළ මැනව; මිනීමරුවන් සමඟ මා පහ නොකළ මැනව.

10ඔවුන්ගේ අත්වල නපුරු උපායන් වේ; ඔවුන්ගේ දකුණත් අල්ලසින් දූෂණය වී ඇත.

11මම මේ නිදොස්කමින් දවස් යවමි; මා මුදා, මට කරුණා කළ මැනව.

12මාගේ පාද යහ මඟ පිහිටා ඇත. ප්‍රසිද්ධ නමස්කාරයේ දී සමිඳුන් හට පැසසුම් ගී ගයන්නෙමි.

>