ගීතාවලිය 31:1-24 SINRV2006 - Bible AI

1දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, ඔබේ රැකවරණය සොයා එමි. කිසිදාක මම නින්දාවට පත් නොවෙම්වා. ඔබේ දැහැමිකමින් මා මුදාලුව මැනව.

2මා දෙස ඔබේ දෙසවන යොමා, නොපමා ව මා මිදුව මැනව, මට බලගතු විමුක්ති පර්වතයක් ද ආරක්ෂක බලකොටුවක් ද වුව මැනව.

3ඔබ මාගේ පර්වතය හා බලකොටුව ය. එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වා මා ගෙන ගිය මැනව.

4මා ඇල්ලීමට ඔවුන් සඟවා ඇති දැලෙන් මා බේරාගත මැනව. ඔබ මාගේ රක්ෂස්ථානය ය.

5ඔබ අතට මාගේ ජීවිතය භාර කරමි. සත්‍යවාදී දෙවි සමිඳුනි, ඔබ මා මිදූ සේක.

6බොරු දෙවි දේවතාවන් නමදින අයට මම ද්වේෂ කරමි. එහෙත්, මම සමිඳුන් කෙරේ විශ්වාසය තබමි.

7ඔබේ කරුණාව ගැන සතුටු වී උදන් අනමි. ඔබ මාගේ දුක් පීඩා දුටු සේක; ඔබ මාගේ සිත් වේදනා තේරුම් ගත් සේක.

8සතුරා අතේ මා සිර කොට නොතබා, නිදහසේ යන්න එන්න ඔබ මට ඉඩ දුන් සේක.

9සමිඳුනි, මට කරුණා කළ මැනව. මම දුකින් මිරිකී සිටිමි. මාගේ දෑස ද ගතසිත ද සෝදුකින් වෑරී ඇත.

10මාගේ ජීවිතය දුකින් ගත වෙයි; මා කල දවස සුසුම්ලෑමෙන් ගෙවී යයි; මාගේ ශක්තිය කනස්සල්ලෙන් පිරිහෙයි; මාගේ ඇට මිදුළු ක්ෂය වී යයි.

11මාගේ එදිරිකරුවන් නිසා මම අසල්වැසියන් අතර නව නින්දාවක් වී සිටිමි; මා දන්නා අඳුනන අයට මම භීතියක් වී සිටිමි; වීදියේ මා දක්නා අය මා වෙතින් පලා යන්නෝ ය.

12මා මතකයෙන් ඉවත ගිය, මියගිය කෙනෙකු මෙන් අමතක වී ඇත; බිඳුණු බඳුනක් මෙන් ඉවත දා ඇත.

13බොහෝ දෙනෙකුගේ කෙලෙසුම් බස් මට ඇසේ; මා අවට භීතිය ඇත. මිනිස්සු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට මාගේ දිවි නසාලීමට උපා යොදති.

14එහෙත් සමිඳුනි, මා විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහි ම ය. “මාගේ දෙවියෝ ඔබ ය”යි කියමි.

15මාගේ ජීවිත ගමන ඔබ අතෙහි ය, මාගේ සතුරන් හා මට පීඩා කරන්නවුන් අතින් මා මුදා හැරිය මැනව.

16ඔබ මෙහෙකරු වන මා දෙස කරුණාවෙන් බැලුව මැනව; ඔබේ තිර පෙමින් මා ගැළෙවුව මැනව.

17මම ඔබට හඬගසමි; මම නින්දාවට පත් නොවෙම් වා! දුදනෝ නින්දාවට පත් වෙත් වා! ඔව්හු නිහඬ ව පාතාලයට යත් වා!

18අභිමානයෙන් හා උඩඟුකමින් සුදනන් හෙළාදක්නා, බොරු කියන දිව නිහඬ කළ මැනව.

19දේව ගරුබිය ඇත්තන් උදෙසා තබා ඇති ඔබේ ගුණවත්කම කොතරම් ද? ඔබ කෙරේ විශ්වාසය තැබූ අය වෙත එය කොතරම් මහත් ලෙස පෙනේ ද?

20මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක.

21සමිඳුන් හට ප්‍රශංසා වේ වා! මන්ද, එතුමාණෝ බලකොටු නුවරක දී එතරම් පුදුම ලෙස මට කරුණාව දැක්වූ සේක.

22“ඔබ වෙතින් මා ඉවත දැමූ සේකැ”යි මාගේ ඉක්මන්කාරකමින් කීවෙමි. එහෙත්, මා ඔබේ පිහිට සෙවූ කල මාගේ කන්නලව්වට ඔබ සවන් දුන් සේක.

23සමිඳුන්ගේ සියලු සැදැහැවතුනි, එතුමන්ට ප්‍රේම කරන්න; හිමි තුමාණෝ සැදැහැවතුන් රක්නා සේක; උඩඟුකම් කරන්නවුන්ට විපුල ප්‍රතිවිපාක දෙන සේක.

24සමිඳුන් කෙරේ විශ්වාසය තබන සියල්ලෙනි, ශක්තිමත් වන්න; සිතින් ධෛර්යවත් වන්න.

>