ගීතාවලිය 35:1-28 SINRV2006 - Bible AI

1දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, මාගේ විවාදකරුවන් සමඟ විවාද කළ මැනව; මා හා සටනට එන අය සමඟ සටන් කළ මැනව.

2පලිහත්, මහා පලිහත් ගෙන මට පිහිට වුව මැනව.

3හෙල්ලය ඇද, මා ලුහුබැඳ එන අය වළකා ලුව මැනව; ඔබ මාගේ පිළිසරණ බව මට පැවසුව මැනව.

4මා වැනසීමට සොයන්නෝ ලජ්ජාවට හා නින්දාවට පැමිණෙත් වා! මා නැසුමට උපා යොදන්නෝ වියවුල් වී ආපසු යත් වා!

5ඔව්හු පවනෙහි පා වන බොල් මෙන් වෙත් වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් පලවා හරී වා!

6ඔවුන්ගේ මාවත අඳුරු, ලිස්සන පාරක් වේ වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් ලුහුබැඳ යේ වා!

7කරුණක් නැතිව ම මා ඇල්ලීමට ඔව්හු මලපත් දැමූ හ; මා බැඳගැන්මට ගැඹුරු වළක් තැනූ හ.

8නොදැනුවත්ව ම ඔව්හු විපතට යත් වා! තමන් දැමූ දැලෙහි තුමූ ම අසු වෙත් වා! තමන් කැපූ වළෙහි තුමූ ම වැටෙත් වා!

9මම හිමි තුමන් ගැන ප්‍රීති ප්‍රමෝද වන්නෙමි; මා ගැළෙව්වේ හිමි තුමන් බැවින් තුටු පහටු වන්නෙමි.

10මාගේ මුළු සිතින් මෙපවත් මම පවසන්නෙමි: “ඔබ වැනි උතුමෙක් මුළු ලොව ඇද් ද? ප්‍රබලයන්ගෙන් දුබලයන් රක්නා, පීඩාකරුන්ගෙන් දිළිඳුන් රැකගන්න වෙන උතුමෙක් තවත් ඇද් ද?”

11අදමිටු දන නැඟී ඉදිරිපත් ව මා කිසිවක් නොදන්න අපරාධ ගැන වරද තබා සාක්කි කියති.

12යහපත කළ මට ඇත්තේ නපුර පමණි; මට කිසි බලාපොරොත්තුවක් දැන් නැත.

13ඔවුන් රෝගාතුර වූ දවසේ දී මම ගෝණි රෙදි ඇන්දෙමි; උපවාසයේ සිටියෙමි; සිරස නමා යාදිනි පිදුවෙමි.

14මිතුරෙකු හෝ සොහොයුරෙකු හෝ ගැන මෙන් ක්‍රියා කෙළෙමි; සිය මව ගැන දුක් වන සේ දුකින් වැතිර සිටියෙමි.

15එහෙත්, මා විපතට වැටුණු දිනේ ඔව්හු මා අවටින් රැස් කකා ප්‍රීති වූ හ. මා නොදත් දුදනෝ නොනැවතී මට නිගා කළහ.

16මට දුක් දී සමච්චල් කොට, මා කෙරේ වෙර බැඳ දත්මිටි කෑ හ.

17සමිඳුනි, මෙය දැක දැක කොපමණ කල් ඔබ බලා සිටින සේක් ද? ඔවුන්ගේ පහරවලින් මා මිදුව මැනව; මේ රුදුරු සිංහයන්ගෙන් මා දිවි රැක දුන මැනව.

18එවිට මම මහා සභාවේ දී ඔබට තුති පුදන්නෙමි; විසල් ජනකායක් අබිමුව ඔබට පැසසුම් කරන්නෙමි.

19මාගේ සතුරෝ අයුක්ති සහගත ව මාගේ දුක ගැන ප්‍රීතිමත් නොවෙත් වා! මාගේ දුක් ගැනවිලි ගැන බැල්මෙන් සෙනඟ කුල්මත් නොවෙත් වා!

20සුහද කතා ඔවුන් වෙත නැත; රටේ සාමකාමී අයට එරෙහි ව ඔව්හු බොරු බේගල් ගොතති.

21ඔව්හු මට විරුද්ධ ව කට අයා, “අනේ හොඳ යි! ඔබ කළ දේ අප දුටුවා”යි කියති.

22සමිඳුනි, ඔබ එය දුටු සේක. නිහඬ ව නොසිටිය මැනව. මා වෙතින් ඈත් ව නොගිය මැනව.

23මාගේ දෙවිඳුනි, මාගේ සමිඳුනි, මා වෙනුවෙන් ඉදිරිපත් වුව මැනව; මාගේ නඩුව අසා, යුක්තිය ඉටු කළ මැනව.

24මාගේ දෙවි සමිඳුනි, ඔබ සාධාරණකම අනුව මා විනිශ්චය කළ මැනව; සතුරෝ මා ගැන කුරිරු සිතින් ප්‍රීති නොවෙත් වා!

25“අපේ වැඩේ හරි”යි ඔව්හු නොකියත් වා! “අප ඔහු කා දැම්මා” කියා ඔව්හු නොකියත් වා!

26මාගේ දුක ගැන හිත පුරා ප්‍රීති වන අය ලජ්ජාවට හා වියවුලට පැමිණෙත් වා! මට අපහාස කරන අය ලජ්ජාවට හා අපකීර්තියට ලක් වෙත් වා!

27මා නිදහස්වීම ගැන සන්තෝෂ වන අය ප්‍රීති ඝෝෂා පවත්වමින්, යළි යළිත් මෙසේ කියත් වා! “සමිඳාණෝ උසස් වන සේක; තම මෙහෙකරුගේ ජය ගැන එතුමාණෝ ප්‍රීති වන සේක.”

28එවිට මා මුවින් ඔබේ දැහැමිකම වර්ණනා කරමි; දවස පුරා ඔබ ගැන ප්‍රශස්ති ගීත ගයන්නෙමි.

>