ගීතාවලිය 36:1-12 SINRV2006 - Bible AI

1සමිඳාණන් වහන්සේගේ සේවක දාවිත්ගේ ගීතයකි. දුදනාගේ හද පත්ලෙහි පවට පෙළඹීම ඇත; ඔහු තුළ දේව ගරුබිය නැත.

2සිය අයුතුකම් හෙළි වී පිළිකුල් කරනු නොලබන්නේ යැයි ඔහු තමා ම පාරට්ටු කරගනියි.

3ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි.

4ඔහු යහනේ සිටින විට පවා මැරවරකම් යෝජනා කරයි; අයහපත් මඟක ම හැසිරෙයි; නපුරු කිසිවකට පිළිකුල් නොකරයි.

5සමිඳුනි, ඔබේ නොනස්නා පෙම්කඳ අහස දක්වා නඟියි; ඔබේ විශ්වාසවන්තකම වලාකුළු ඉක්මවා යයි.

6ඔබේ දැහැමිකම උස් කඳුවැටි හා සමාන ය; ඔබේ විනිශ්චයයෝ මහ සයුර මෙන් ගැඹුරු ය. සමිඳුනි, ඔබ මිනිසා ද මෘගයා ද රක්නා සේක.

7ඔබේ නොනස්නා පෙම්කඳ කොතරම් අනගි ද? නර සුර දෙගොල්ල ම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය ලබති.

8ඔව්හු ඔබේ මැදුරෙහි සව්සිරි සැපතින් මොනවට සතුටු වෙති; ගලා යන ඔබේ ප්‍රීති ගංගාවෙන් ඔබ ඔවුන්ට බොන්න දෙන සේක.

9ජීවන උල්පත ඔබ වෙත ඇත; ඔබේ එළියෙන් අපි එළිය දකිමු.

10ඔබ හඳුනන අයට ඔබේ තිර පෙම්කඳ ද අවංක සිත් ඇති අයට ඔබේ දැහැමිකම ද නොනවත්වා පෙන්නුව මැනව.

11උඩඟු අය මට පහර නොදෙත් වා! නපුරු අය මා පලවා නොහරිත් වා!

12දුදනෝ බිමට වැටී පෙරළී සිටිති. ඔවුන්ට තවත් නැඟිටීමක් නැත.

>