ගීතාවලිය 41:1-13 SINRV2006 - Bible AI

1දාවිත්ගේ ගීතයකි. දිළින්දා සලකන්නා ආසිරි ලද්දේ ය. ඔහුගේ විපතින් සමිඳාණෝ ඔහු මුදන සේක.

2සමිඳාණෝ ඔහු රක්නා සේක; ඔහුට රැකවරණය දෙන සේක; මිහි මත ඔහුට ආසිරි දෙන සේක; සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක.

3ලෙඩ ඇඳේ සිටින විට සමිඳාණෝ ඔහුට පිහිට වන සේක; රෝගාතුර ව සිටින විට සුවය දෙන සේක.

4“සමිඳුනි, මට කරුණා කළ මැනව; ඔබට විරුද්ධ ව පව් කෙළෙමි, මෙමා සුව කළ මැනව”යි මම පවසමි.

5“ඔය මිනිසා කවදා මැරේ ද? කවදා ඔහුගේ නාමය මැකී යන්නේ දැ”යි මාගේ සතුරෝ මා ගැන අවලාද කියති.

6මා බලන්න එන අය අවංක නැත. ඔවුහු මා ගැන කිව හැකි නපුරු දේ රැස් කරගනිති; පිටත ගොස් හැම තැන ම ඒවා පළ කරති.

7මට වෛර කරන්නෝ මට විරුද්ධ ව රහස් කියති; මා වැනසීමට රහසින් උපා යොදති.

8“අසාධ්‍ය ලෙඩක් ඔහුට වැළඳී ඇත. කවදාවත් ඇඳෙන් නොබසිනු ඇතැ”යි ඔවුහු පවසති.

9මාගේ හොඳ ම විශ්වාසය දිනාගත් යහළුවා, එක පිඟානෙන් බත් කෑ කල්‍යාණ මිත්‍රයා පවා මට එරෙහි ව සතුරුකම් කෙළේ ය.

10මාගේ සතුරන්ට යස පාඩමක් උගන්වන පිණිස සමිඳුනි, මට කරුණා කළ මැනව; ලෙඩ ඇඳෙන් මා නැඟිටවුව මැනව.

11ඔවුන්ට ජය අත් නොවන විට ඔබ මා කෙරෙහි ප්‍රිය බව මම දනිමි.

12මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක.

13ඉශ්රායෙල් ජනතාවගේ දෙවි සමිඳුන් හට ප්‍රශංසා වේ වා! සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! ආමෙන්, ආමෙන්.

>