ගීතාවලිය 46:1-11 SINRV2006 - Bible AI

1කෝරාගේ පුත්‍රයන්ට යි. දෙවිඳාණෝ අපේ ශක්තිය හා සරණ වන සේක; හැම දා විපතේ දී අප හට පිළිසරණක් වන සේක.

2මහ පොළොව කම්පා වෙතත්, කඳු වැටි මහ මුහුදට කඩා වැටෙතත්,

3සත් සමුදුර ගුගුරා කැළඹෙතත්, එයින් නැඟෙන රැළ වේගයෙන් කඳු වැටි සැලෙතත් අපට කිසි විටක බියක් නැත.

4එක් ගංගාවක් ඇත. එහි දිය පාරවල් ගලා ගොස්, අපේ උතුම් දෙවිඳුන්ගේ ශුද්ධ මණ්ඩපය වන දෙව් නුවරට සතොස ගෙන දෙයි.

5දෙවි තුමාණෝ ඒ නුවර වැඩ වසන සේක. ඊට කිසි දා විපතක් නොවනු ඇත. දෙවි තුමාණෝ අලුයම් වේලෙහි ඊට පිහිට වන සේක.

6ජාතීහු කෝලහල කළහ; රාජධානි බිඳ වැටිණි. දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක. මහ පොළොව දිය විණි.

7සව් බලැති සමිඳාණෝ අප සමඟ ය. ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.

8එන්න, සමිඳුන්ගේ වික්‍රම ක්‍රියා බලන්න; මිහි මත කර ඇති පුදුම ක්‍රියා නරඹන්න.

9එතුමාණෝ මිහි මත දස දෙස යුද බිය නවත්වන සේක; දුන්න බිඳ, හෙල්ලය කපා, පලිහ ගින්නෙන් දවන සේක.

10නිශ්චල වන්න; මා දෙවිඳුන් බව සිතට ගන්න; මුළු දෙරණට අග රජ බව, සව් සත හට අග රජ බව වටහාගන්න;

11සව් බලැති සමිඳාණෝ අප සමඟ ය; ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.

>