ගීතාවලිය 47:1-9 SINRV2006 - Bible AI

1කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි. සව් සතුනි, අත්පොළසන් දෙන්න; ජය ගොස නංවා දෙවිඳුන්ට තුති දෙන්න.

2අති උතුම් සමිඳාණෝ බියකරු ය, මුළු මහ පොළොව කෙරේ අග රජ ය.

3එතුමාණෝ ජාතීන් පරදා අපට ජය දුන් සේක; සව් සත කෙරේ අග රජ වන සේක.

4තම හට ප්‍රිය ජාකොබ්ගේ සෙනඟ වන අප හට මවු බිමක් ලබා දුන් සේක.

5ජය ගොස නංවා, කාහල හඬ පතුරා, එතුමාණෝ සිහසුන මත නැඟුණ සේක.

6දෙවි තුමන් හට ගී පසස් නඟන්න. ගී පසස් නඟන්න. අපේ නිරිඳු හට ගී පසස් නඟන්න; ගී පසස් නඟන්න.

7දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමන් හට ගී පැසසුම් ගයන්න.

8දෙවිඳාණෝ ජාතීන් අතර රජිඳාණෝ ය; එතුමාණෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක.

9ජාතීන්ගේ අධිපතීහු, ආබ්‍රහම්ගේ වංශයට අයත් දේව සෙනඟ සමඟ එක් රැස් වන්නෝ ය. පොළොවේ බලවත් ජාතීහු දෙවි තුමන්ට අයිති ය; එතුමාණෝ උන් හැම කෙරේ රජකම් කරන සේක.