ගීතාවලිය 5:1-12 SINRV2006 - Bible AI

1දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, මා යැදුමට සවන් දෙනු මැනව; මාගේ භාවනාව සැලකුව මැනව.

2රජිඳුනි, මාගේ දෙවිඳුනි, ඔබ සරණ පතා මම එන්නෙමි. කරුණාවෙන් මා යැදුමට සවන් දෙනු මැනව.

3සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව; අරුණ’ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි.

4ඔබ දුෂ්ටකමට ප්‍රිය කරන දෙවි කෙනෙක් නොවන සේක; ඔබ අබිමුව නපුරට ඉඩ නොතබන සේක.

5අහංකාර අයට ඔබ අබිමුවෙහි තැනක් නැත්තේ ය. අපරාධකරුවන්ට ඔබ ද්වේෂ කරන සේක.

6සමිඳාණෝ බොරු තෙපලන දන වනසන සේක; මිනීමරු කපටි අය පිළිකුල් කරන සේක.

7මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවෙසට පිවිසෙන්නෙමි; ගරුබිය පාමින් ශුද්ධ මැදුර අබිමුව නමදින්නෙමි.

8සමිඳුනි, මට සතුරන් බොහෝ සිටින බැවින්, දැහැමි මඟ මා ගෙන ගිය මැනව; ගත යුතු මඟ මට පෙන්නුව මැනව.

9මා සතුරන් පවසන දේ විශ්වාස කළ නොහැකි ය. ඔවුන්ගේ සිත දැඩි දුෂ්ටකමින් පිරී ඇත්තේ ය. ඔවුන්ගේ උගුර අමු සොහොනක් වැනි ය. ඔව්හු දිවෙන් ඉච්ඡා බස් දොඩන්නෝ ය.

10දෙවිඳුනි, ඔවුන් නසා වනසා ලුව මැනව; ඔවුන්ගේ කූට උපායවලට ඔවුන් ම අසු කළ මැනව; ඔවුන්ගේ බොහෝ අපරාධ නිසා ඔවුන් දුරින් දුරු කළ මැනව. මන්ද, ඔව්හු ඔබට එරෙහි ව කැරලි ගැසුවෝ ය.

11ඔබ සරණ යන්නෝ ප්‍රීතියෙන් පිනා යත් වා! ඔබ ඔවුන් රක්නා බැවින් ඔව්හු විපුල සතුටින් උදම් වෙත් වා! ඔබ නම ප්‍රිය කරන්නෝ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!

12මන්ද ඔබ දමිටුන්ට ආසිරි දෙන සේක; සමිඳුනි, ඔබ පෙම පලිහක් මෙන් ඔවුන් වට කරන සේක.