ගීතාවලිය 54:1-7 SINRV2006 - Bible AI

1දාවිත්ගේ සංගීතයකි. සිප්වරුන් පැමිණ, “බලන්න, දාවිත් අප අතර සැඟවී සිටින්නේ ය”යි සාවුල්ට කී පසු දාවිත් විසින් ලියන ලද අනුශාසනාවකි. අහෝ දෙවිඳුනි, ඔබ නාමයේ අනුහසින් මා මුදාලුව මැනව; ඔබ බල මහිමයෙන් මා නිදහස් කළ මැනව;

2දෙවිඳුනි, මාගේ යැදුමට සවන් දුන මැනව; මා පවසන වදනට ද සවන් දුන මැනව.

3විදේශිකයෝ මට විරුද්ධ ව නැඟිට්ටෝ ය; සාහසිකයෝ මා මරන්නට සෙවුවෝ ය. මාගේ අධිපතියාණන් දෙවිඳුන් බව ඔව්හු නොපිළිගත්තෝ ය.

4දෙවිඳාණෝ මාගේ සහායට වඩින සේක; සමිඳාණෝ මාගේ දිවියට රැකවරණය දෙන සේක.

5මාගේ සතුරන් මට කළ නපුර ඔවුන්ට ම පල දේ වා! තම විශ්වාසවන්තකම නිසා එතුමාණෝ ඔවුන් සහමුලින් ම වනසාලන සේක් වා!

6තුටුපහටු සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි. සමිඳුනි, සැබැවින් ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි.

7එතුමාණෝ සැම විපතින් මා මුදා ලූ සේක. මා දෙනෙතින් මා සතුරන්ගේ විපත දැක මම සතොස් වන්නෙමි.