ගීතාවලිය 6:1-10 SINRV2006 - Bible AI

1දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව; දැඩි කෝපයෙන් දඬුවම් නුදුන මැනව.

2සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව; මාගේ ඇටකටු පොඩි වී ඇත; මා සුව කළ මැනව.

3මම මුළුමනින් ම කැළඹී සිටිමි; සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද?

4සමිඳුනි, යළි වැඩම කොට මරණින් මා ගළවාගන්න; ඔබ තිර පෙමින් දැන් මා මුදාලන්න.

5මන්ද, මරණින් පසු ඔබ ගැන සිහිවීමක් නැත්තේ ය; පාතාලයේ ඔබ හට පැසසීමක් නැත්තේ ය.

6මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත; කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත;

7වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත; සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත.

8සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක.

9සමිඳාණෝ මාගේ යාදිනි ඇසූ සේක; එතුමාණෝ මා යැදුම පිළිගන්න සේක.

10මාගේ සියලු සතුරෝ පරාජය වී ලජ්ජාවට පැමිණෙත් වා! හදිසියෙන් ම වියවුල් වී ආපසු හැරී යත් වා!