ගීතාවලිය 62:1-12 SINRV2006 - Bible AI

1දාවිත්ගේ ගීතයකි. මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.

2මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි; එබැවින් මම නොසැලී සිටින්නෙමි.

3මම ඇල වුණ බිත්තියක් ද සෙලවෙන තාප්පයක් ද වැනි මිනිසෙක් වෙමි; ඔබ කොපමණ කල් මට තාඩන පීඩන කරන්නහු ද?

4උසස්කමෙන් ඔහු නෙරපාදැමීමට ඔව්හු උපා යොදති; බොරු කීමට ප්‍රිය වෙති; මුවින් ආසිරි පතන නමුත්, සිතින් සාප කරති.

5මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.

6මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි; එබැවින් මම නොසැලී සිටින්නෙමි.

7මාගේ ගැළවීමත්, මාගේ මහිමයත් දෙවිඳුන්ගෙන් ය; මාගේ ශක්තිය රඳා ඇති පර්වතයත්, සරණත් එතුමාණෝ ය.

8ජනයෙනි, දෙවිඳාණන් තුළ සැමදා විශ්වාසය තබන්න; එතුමාණෝ අප සරණය වන සේක. එතුමාණන් අබිමුව ඔබේ දුක්ගැනවිලි පවසන්න.

9පහළ පෙළේ අය සුළං රොදකි; ඉහළ පෙළේ අය මායාවකි; කිරා බලන විට දෙපක්ෂය ම සැහැල්ලු ය. සුළං රොදකටත් වඩා සැහැල්ලු ය.

10බලහත්කාරකම කෙරෙහි විශ්වාසය නොතබන්න; කොල්ලකාගත් දේ ගැන සිත යොමු නොකරන්න; වස්තුව වැඩි වුණත් ඊට ඇලුම් නොවන්න.

11දෙවිඳුන් මෙසේ පැවසූ බව මා බොහෝ වර අසා ඇත. එනම්, ‘බලය දෙවිඳුන් සතු ය;

12සමිඳුනි, තිර පෙම ඔබ සතු ය. මන්ද, මිනිසා කළ කළ දේ අනුව ඔබ විපාක දෙන සේක’ යනු යි.

>