1ජුදා දේශයේ පාළුකරයේ දී දාවිත් ලියූ ගීතයකි. ⓓදෙවිඳුනි, මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මා හද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේ ය. වියළි බිම ජලයට පිපාසා වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී යන්නෙමි.
2ඔබේ ශුද්ධස්ථානයේ දී මම ඔබ දෙස ඕනෑකමින් බලා සිටින්නෙමි. ඔබේ බලය ද මහිමාලංකාරය ද නරඹන්නෙමි.
3ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය; මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේ ය.
4මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි.
5රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.
6යහනේදීත් මම ඔබ ගැන සිතන්නෙමි; රෑ යාමවල දී ඔබ ගැන මෙනෙහි කරන්නෙමි.
7මන්ද, ඔබ වහන්සේ මාගේ ආධාරය වූ සේක. ඔබේ පියාපත් සෙවණෙහි මම ප්‍රීති වන්නෙමි.
8ම සිතෙහි ඔබ කෙරෙහි තද ඇල්මක් ඇත; ඔබ දකුණතින් මා උසුලන සේක.
9මා වනසනු වස්, මා සොය සොයා සිටින අය ඇත; ඔව්හු පාතාල ලෝකයේ පත්ලට ම යත් වා!
10ඔව්හු කඩු මුවහතින් පහර කත් වා! ඔවුහු සිවලුන්ට ගොදුරු වෙත් වා!
11එහෙත්, රජ තෙම දෙවිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වන්නේ ය. මුසා දොඩන්නවුන්ගේ මුව පියවෙන විට සමිඳුන් නමින් දිවුරන්නෝ ප්‍රීතිමත් වන්නෝ ය.