2එතුමන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න.
3දෙවි තුමන්ට මෙලෙස කියන්න: “ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.
4ලෝ වැසි සියල්ලෝ ඔබ නමදින්නෝ ය; ඔබට ගී ගයා ඔබේ නම පසසන්නෝ ය.
5එන්න, දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න. එතුමන්ගේ ක්‍රියා මිනිසුන් අතර බියජනක ය.
6ⓔඑතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමන් තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.
7එතුමාණෝ බලපරාක්‍රමයෙන් සදහට ම ලොව පාලනය කරන සේක; එතුමාණෝ විජාතීන් දෙස නෙත් යොමා බලන සේක. කිසි ම කැරලිකරුවෙක් එතුමන්ට එරෙහි ව නොනැඟිටී වා!
8ජනතාවෙනි, අපේ දෙවිඳුන් හට ආසිරි පතන්න; එතුමන් වෙත නඟන පැසසුම පතුරුවා හරින්න.
9එතුමාණෝ ජීවතුන් අතර අප රැක ගත් සේක; අපේ පාද නොපැකිළෙන්නට සැලැසූ සේක.
10අහෝ දෙවිඳුනි! ඔබ අප පරීක්ෂා කළ සේක; රිදී සෝදිසි කරන පරිදි ඔබ අප සෝදිසි කළ සේක.
11ඔබ අප දැලට අසු කරගත් සේක; අපේ කර පිට තද බර පැටවූ සේක.
12අප පාගා දැමීමට අප සතුරන් හට ඔබ ඉඩ දුන් සේක; අපි ගිනි මැදින් ද ජලය මැදින් ද ගියෙමු. එහෙත්, ඔබ අප සුරැකි බිමට ගෙනා සේක.
13දවන යාග පූජා රැගෙන මම ඔබේ නිවාසයට ඇතුල් වන්නෙමි; මාගේ බාරහාර මම ඔබට ඔප්පු කරන්නෙමි.
14මාගේ තොල්වලින් මම ඒ බාරහාර ප්‍රකාශ කෙළෙමි; මම මාගේ විපතේ දී මා මුවින් ඒවා උච්චාරණය කෙළෙමි.
15දැවෙන බැටළු පැටවුන්ගේ සුවඳ දුම් සමඟ තරබාරු සතුන්ගෙන් දවන යාග පූජා පුදන්නෙමි. මම ගවයන් ද එළුවන් ද පුදන්නෙමි.
16දෙවිඳුන් නමදින සියල්ලෙනි! එන්න, සවන් දෙන්න. එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නෙමි.
17මා මුවින් මම එතුමන්ට මොරගැසුවෙමි; මාගේ දිවෙන් එතුමන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි.
18වරදට මා හද තුළ ආශාවක් තිබේ නම්, මා සමිඳාණෝ මට කවදාවත් සවන් නොදෙන සේක.
19එහෙත්, දෙවිඳාණෝ මට සවන් දුන් සේක; මාගේ අයැදුම් හඬ ද සලකා බැලූ සේක.
20දෙවිඳුන්ට ප්‍රශංසා වේ වා! මාගේ අයැදුම එතුමාණෝ ඉවත නොදැමූ සේක; සිය පෙමින් මා ඈත් නොකළ සේක.