ගීතාවලිය 7:1-17 SINRV2006 - Bible AI

1බෙන්ජමීය කුෂ්ගේ වචන නිසා දාවිත් විසින් සමිඳුන්ට ගායනා කරන ලද කාව්‍යයකි. සමිඳුනි, මාගේ දෙවියෙනි, මා රැකවරණය ඔබ වෙත ම ය. ලුහුබැඳ එන රුපු කැලෙන් නිදහස් කොට මා මුදාලන්න.

2නැතහොත්, ගළවන්නට බැරි තැනකට සිංහයෙකු මෙන්, ඔවුන් මා ඩැහැගෙන යනු ඇත; එහිදී මා කැබලි කොට මරා දමනු ඇත.

3සමිඳුනි, මාගේ දෙවියෙනි, කෙනෙකුට යම් අයුක්තියක් මා කර ඇත්නම්,

4මිතුරෙකු හට හොඳක් වෙනුවට නපුරක් කර ඇත්නම්, මට වරදක් කළ සතුරෙකු නිදහස් කර ඇරියෙම් නම්;

5සතුරෝ මා ලුහුබැඳ අවුත් මා අල්ලාගනිත් වා! ඔව්හු මා කපා, කොටා මරත් වා! මාගේ මළකඳ දූවිල්ලෙහි දමත් වා!

6සමිඳුනි, ඔබේ උදහසින් නැඟුටුණු මැනව; මාගේ එදිරිකාරයන්ගේ කෝපාග්නියට විරුද්ධ ව සිටිය මැනව; අවදි ව මට පිහිට වුව මැනව. ඔබේ නියමය යුක්තිය ඉටු කිරීම ය.

7සව් ලෝ සත එක් රැස් ව ඔබ වට කර සිටිත් වා! ඉහළ අහසේ ඔවුන් මැද ඔබ සිහසුන් අරා වැඩ සිටින්න.

8සමිඳාණෝ සව් සත හට යුක්තිය සලසා දෙන සේක. සමිඳුනි, මාගේ දැහැමිකමත්, අහිංසකකමත් අනුව මා විනිශ්චය කළ මැනව.

9මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න; දහම් රජය පිහිටුවන්න.

10දෙවිඳාණෝ මට රැකවරණය දෙන පලිහ වන සේක; අවංක සිත් ඇතියන් හට පිළිසරණ වන සේක.

11දෙවිඳාණෝ දැහැමි විනිසකරුවෙක් වන සේක; එහෙත් නිරතුරු ව උදහස් ව නොසිටින සේක.

12පවිටු දනන් වැරදි මඟින් නොහැරෙන විට, දෙවිඳාණෝ සිය අසිපත තියුණු කරන සේක; දුනු දිය තැත්කවා සූදානම් කරන සේක.

13මාරක අවි සකස් කරන සේක; ඊතල, ගිනි ඊතල කරන සේක.

14එසේ වුව ද, නපුරු දනෝ නපුරුකම පිළිසිඳගනිති, අයුතුකම ගැබ් ගෙන සිටිති, මුසාවාදය ප්‍රසූත කරති.

15ඔව්හු බිම තැනක ගැඹුරු වළක් හාරා තබති, කැපූ වළෙහි ඔව්හු ම වැටෙති.

16ඔවුන් කළ නපුර ඔවුන් පිට ම ආපසු එයි, ඔවුන්ගේ ඒ දුෂ්ටකම ද ඔවුන්ට ම යළි පටිසන් දෙයි.

17සමිඳුන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි. අති උත්තම හිමි තුමන් හට තුති ගී පවසමි.