1ආසාප්ගේ කාව්‍යයකි. ගීතයකි. දෙවිඳුනි, අපි ඔබට තුති කරමු; ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු; ඔබේ නාමයට අයැද තුති කරමු.
2දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “විනිශ්චය කරන කාලය මා නියමකර ඇත. එවිට මම යුක්තිසහගත ව විනිශ්චය කරන්නෙමි.
3පොළොවත්, එහි සියලු වැසියෝත් කම්පා වන්නෝ ය. එසේ වුවත්, පොළොවේ කණු සවිමත් ව තබන්නේ මම ය.”
4මම මෙසේ කියමි: “පාරට්ටු කරන්නෙනි, පාරට්ටු නවතාලන්න; දුදනෙනි, අහංකාරකමින් උදම් නොවන්න;
5මහෝත්තමයාණන්ට විරුද්ධ ව අහංකාර නොවන්න; මැවුම්කරුන් හට විරුද්ධ ව උඩඟුවෙන් කතා නොකරන්න.
6පෙර අපර දෙදිගින් හෝ උතුරු දකුණු දෙදිගින් හෝ විනිශ්චය නොවන්නේ ය, එය නොඑන්නේ ය.
7එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය. කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද උන් වහන්සේ ම ය.
8සමිඳුන් අතෙහි කුසලානකි; කෝපයෙන් පැසුණු මිදි රසින් එය පිරී ඇත. එතුමාණෝ එයින් බිඳක් වත්කරන සේක. මිහි පිට දුදනෝ එහි අන්තිම බිඳ දක්වා ම බොන්නෝ ය.
9මම සදහට ම ජාකොබ්ගේ දෙවිඳුන් පසසන්නෙමි; එතුමන් හට සදහට ම ගී ගයන්නෙමි.
10දුදනන්ගේ ඔද මම බිඳ ලන්නෙමි. එහෙත්, සුදනන්ගේ බලය ඔසවනු ලබන්නේ ය.”