1සමිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද? ඔබේ තේජෝ මහිමය සගලොවින් එපිට පිළිරැව් දෙන්නේ ය.
2ⓚකිරි දරු බිළිඳු සිඟිති මුවින් ඔබ සතුරා ද පළිගන්නා ද නිහඬ කළ සේක. රුපු ඔද බිඳිමින් බලකොටුවක් ද ඉදි කළ සේක.
3සිය’තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි,
4ⓛමිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක් දැ යි මට සිතෙන්නේ ය.
5එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය.
6ⓜඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක.
7ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.
8ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක.
9දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?