ගීතාවලිය 80:1-19 SINRV2006 - Bible AI

1ප්‍රසිද්ධ ආඥාවකි. ආසාප්ගේ ගීතයකි. ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව.

2කෙරුබ්වරුන් මත අසුන් අරා දර්ශනය වුව මැනව. එප්‍රායිම්, බෙන්ජමින් සහ මනස්සේ යන අයගේ පෙළපත් අබිමුව තෙදින් වැජඹෙනු මැනව. අප මුදාගැනීමට වැඩිය මැනව.

3අහෝ දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.

4අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි, ඔබේ සෙනඟගේ අයැදීම ගැන කොපමණ කල් ඔබ උදහස් ව සිටින සේක් ද?

5දුක් නමැති ආහාර ඔබ අපට කන්න දුන් සේක; අපට කඳුළින් පිරුණු බඳුනක් බොන්න දුන් සේක.

6අපේ අසල්වැසියන්ගේ පරිහාසයට ඔබ අප ලක් කළ සේක. අපේ සතුරෝ අපට උසුළු-විසුළු පෑවෝ ය.

7සව් බලැති දෙවිඳුනි, අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.

8ඔබ මිදි වැලක් වන අප මිසරයෙන් ගෙනා සේක; විජාතීන් පන්නාදමා ඔබ එය රෝපණය කළ සේක.

9එය වැඩෙන පිණිස ඔබ තැනක් සූදානම් කළ සේක; එය ගැඹුරට මුල් ඇද්දේ ය. එය දේශය පුරා පැතිර ගියේ ය.

10එහි සෙවණින් කඳුකර පෙදෙස ද එහි අතු රිකිලිවලින් මහ සීඩර් ගස් ද පවා වැසී ගියේ ය.

11එහි අතු මුහුද දක්වා ද එහි රිකිලි යුප්‍රටීස් දක්වා ද විහිදී ගියේ ය.

12මඟ යන එන සියල්ලන් එහි පල නෙළනු පිණිස එහි වැට කඩුලු වනසාලූයේ කුමක් නිසා ද?

13වල් ඌරෝ එය පාගා දැම්මෝ ය; නිදැල්ලේ සැරිසරන වල් සත්තු එය කා දැම්මෝ ය.

14අහෝ සව් බලැති දෙවිඳුනි! අප වෙත හැරුණ මැනව. සගලොව සිට නෙත් යොමා බලා මේ මිදිවැල වන අප රැකගත මැනව.

15ඔබේ දකුණතින් රෝපණය කළ දේ සැලකුව මැනව; ඔබට ම සවිමත් කරගත් දේ බැලුව මැනව.

16අපේ සතුරෝ එය කපා ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය. ඔබේ බැල්මේ තර්ජනයෙන් ඔව්හු වැනසී යති.

17ඔබේ හස්තය ඔබේ දකුණු පස සිටින මිනිසා කෙරෙහි පතිත වේ වා! ඔබේ යහපතට ඔබ ම සවි ශක්තිමත් කළ ජාතිය කෙරෙහි එය පහළ වේ වා!

18එවිට අපි කවදාවත් ඔබට පිටුපා නොයන්නෙමු. අපට ජීවත් වීමට ඉඩ දුන මැනව. අපි ඔබේ නාමයෙන් අයැද ඔබ පසසන්නෙමු.

19අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.

>