ගීතාවලිය 83:1-18 SINRV2006 - Bible AI

1ආසාප්ගේ ගීතයකි. මාගේ දෙවිඳුනි, නිහඬ ව නොසිටිනු මැනව. දෙවිඳුනි, නිසංසල ව නොසිටිනු මැනව. පිළිතුරු නො දී නොසිටිනු මැනව.

2බලනු මැනව, ඔබේ විරුද්ධකරුවෝ කලබල කරන්නෝ ය. ඔබේ සතුරෝ කැරලි ගසන්නෝ ය. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නෝ ය.

3ඔව්හු ඔබේ සෙනඟට විරුද්ධ ව කූට උපා යොදන්නෝ ය. ඔබ රැකවරණය දෙන අයට එරෙහි ව කුමන්ත්‍රණ කරන්නෝ ය.

4ඔව්හු කතා කොට, “එන්න, ඉශ්රායෙල් නාමය මින් මතු සිහි නොවන පිණිස ඒ මුළු ජාතිය ම වනසාලමු”යි කියන්නෝ ය.

5සත්තට ම ඒකමතික ව ඔව්හු කුමන්ත්‍රණය කරන්නෝ ය; ඔබට විරුද්ධ ව පෙරමුණු බඳින්නෝ ය.

6ඔව්හු ඒදොම්ගේ සහ ඉෂ්මායෙල්ගේ ගෝත්‍රවලට අයිති තැනැත්තෝ ය. මෝවබ්ගේ සහ හගරීනයන්ගේ ගෝත්‍රවලට අයිති තැනැත්තෝ ය.

7මොවුහු ගෙබාල්ගේත්, අම්මොන්ගේත්, අමලෙක්ගේත් වංශවලට අයිති තැනැත්තෝ ය. තීර්හි වාසීන් සමඟ පිලිස්තියාවේ වැසියෝ ය.

8අසිරියාව ද ඔවුන් සමඟ අත්වැල් බැඳගත්තේ ය. එය ලොත්ගේ පරපුරට අයත් බලවත් මිතුරා වී ඇත්තේ ය.

9මිදියන්වරුන්ට සහ සිසෙරාට කළ පරිදි ද කිෂොන් නදිය අසල ජාබීන්ට කළ පරිදි ද ඔවුන්ට කළ මැනව.

10ඔබ ඔවුන් එන්දෝර්හි දී විනාශ කළ සේක. ඔව්හු පොළොවට පොහොර මෙන් වූ හ.

11ඔබ ඕරෙබ්ට සහ ශිබ්ට කළ පරිදි ඔවුන්ගේ නායකයන්ටත් කළ මැනව. ඔබ සෙබා සහ ශල්මුන්නා පරාජය කළ පරිදි ඔවුන්ගේ පාලකයන් ද පරාජය කළ මැනව.

12ඔව්හු කතා කොට, “දෙවිඳුන්ට අයිති සාර භූමිය අපේ අයිතිය පිණිස පැහැර ගනිමු”යි කීවෝ ය.

13මාගේ දෙවිඳුනි, ඔවුන් සුළඟට ගසාගෙන යන ධූලි මෙන් ද බොල් වී මෙන් ද කළ මැනව.

14ගින්න වනාන්තරය දවන සේ ද ගිනිදැල්ල කඳුකරය දවන සේ ද

15ඔබේ චණ්ඩ මාරුතයෙන් ඔවුන් ලුහුබැඳ යනු මැනව. ඔබේ සැඬ සුළඟින් ඔවුන් බිය ගැන්වුව මැනව.

16සමිඳුනි, ඔවුන්ගේ මුහුණු විළි ලජ්ජාවෙන් පිරෙවුව මැනව. ඔබේ නාමය පිළිගන්න තෙක් එලෙස කළ මැනව.

17ඔව්හු සදහට ම පරාජය වී භීතියෙන් පෙළෙත් වා! අපකීර්තියෙන් ඔව්හු වැනසී යත් වා!

18ඔබ වහන්සේගේ නාමය පමණක් ‘සමිඳාණෝ’ බව ද මිහි පිට ඔබ පමණක් ‘අති උත්තමයාණෝ’ බව ද ඔව්හු දැනගනිත් වා!

>