ගීතාවලිය 86:1-17 SINRV2006 - Bible AI

1දාවිත්ගේ යාච්ඤාවකි. සමිඳුනි, ඔබ කන් යොමා මට පිළිතුරු දුන මැනව. මන්ද, මම අසරණ ය; මම දුබල ය.

2මා භක්තිවන්ත බැවින් මා මරණින් මුදනු මැනව; ඔබ කෙරෙහි විශ්වාස කරන ඔබේ දාසයා මුදාලුව මැනව.

3මාගේ සමිඳුනි, මට අනුකම්පා කළ මැනව. මුළු දවස පුරා මම ඔබට අයැදිමි.

4ඔබේ දාසයාගේ සිත ප්‍රීතිමත් කළ මැනව. මන්ද, මාගේ සමිඳුනි, මම ඔබට යාච්ඤා කරමි.

5මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක.

6සමිඳුනි, මාගේ අයැදුමට සවන් දුන මැනව. පිහිට පතමින් මා කරන අයැදුමට කන් දුන මැනව.

7විපත් කාලයේ දී මම ඔබට හඬගසන්නෙමි. ඔබ මට පිළිතුරු දෙන සේක.

8අහෝ සමිඳුනි! දෙවිවරුන් අතර ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය. ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි අන් ක්‍රියා ද නැත්තේ ය.

9මාගේ සමිඳුනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ වෙත පැමිණ ඔබට නමදින්නෝ ය. ඔව්හු ඔබේ නාමය පසසමින් ඔබට ගරු කරන්නෝ ය.

10ඔබ බලසම්පන්න ය, අරුමපුදුම දේ කරන සේක. ඔබ පමණක් දෙවිඳාණෝ ය.

11සමිඳුනි, ඔබේ සත්‍යයෙහි පමණක් ගමන් කරන පිණිස ඔබේ මාර්ගය මට පෙන්නුව මැනව. ඔබේ නාමයට ගරු කරන පිණිස හිතවත්කමින් ම හද එක් කළ මැනව.

12මාගේ දෙවි සමිඳුනි, හද පත්ලෙන් මම ඔබට තුති කරමි. ඔබේ නාමය සදහට ම වර්ණනා කරමි.

13මා වෙත ඇති ඔබේ තිර පෙම කොපමණ මහත් ද? ගැඹුරු පාතාලයෙන් ඔබ මා මිදූ සේක.

14දෙවිඳුනි, අහංකාර අය මට එරෙහි ව නැඟිටින්නෝ ය. ඔබට ගරු නොකරන කුරිරු මිනිස් පිරිසක් මා මරන්නට සොයන්නෝ ය.

15මාගේ සමිඳුනි, ඔබ මෙත් සිත් ඇති දයානුකම්පාව පාන දෙවිඳාණෝ ය, ඉවසන සුලු, කරුණාවෙන් සහ විශ්වාසවන්තකමින් සපිරි තැනැන් වහන්සේ ය.

16මා වෙත හැරී මට අනුකම්පා කළ මැනව; මා ශක්තිමත් කොට මා ගැළෙවුව මැනව. මන්ද, මාගේ මව ඔබට සේවය කළ පරිදි මම ද ඔබට සේවය කරමි.

17ඔබ මට ආධාරය සහ සැනසීම දුන් බව මාගේ සතුරන් දැන ලජ්ජා වන පිණිස, ඔබේ දයා කරුණාවට සාක්ෂියක් දුන මැනව.

>