2කඳු හෙල් ඇති වන්නට පෙර සිට ඔබ පොළොව ද සක්වළ ද මවන්නට පෙර සිට සදාකාලයෙන් සදාකාලයට ම ඔබ දෙවියන් වහන්සේ වන සේක.
3ඔබ මිනිසා යළි දූවිල්ලට හරවන සේක, “මිනිසුනි, දූවිල්ලට හැරේවා” කියා ඔබ වදාරන සේක.
4ⓨඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය, රැයේ එක යාමයක් වැනි ය.
5සැඬ පහරකින් මෙන් ඔබ මිනිසුන් ගෙන යන සේක; ඔව්හු සිහිනයක් මෙන් පහ වී යති; උදේ දලු දැමූ තණ පත හා සමාන වන්නෝ ය.
6උදේ ඒවා සරුසාර ලෙස වැඩෙන්නේ ය, සවස් කල පර වී වියළී යන්නේ ය.
7ඔබේ කෝපය අප දවාලන්නේ ය; ඔබේ උදහස අප කළඹාලන්නේ ය.
8අප අයුතුකම් ඔබට පෙනෙන්නේ ය. අපේ රහස් පව් ඔබේ මුහුණේ එළියට ලක් වන්නේ ය.
9අප දිවි පෙවෙත ඔබේ උදහස මැද ගෙවී යන්නේ ය; අප ආයු සුසුමක් සේ කෙළවර වන්නේ ය.
10අප ආයු හැත්තෑ අවුරුද්දකි, සවි ශක්තිය ඇත්නම්, අසූවක් විය හැකි ය. එහෙත්, ඒ කාලය කම්කටොළු හා දුක ම ය. අප ආයු ගෙවී ගොස් දිවි පෙවෙත වහා නිම වන්නේ ය.
11ඔබේ කෝපයේ බලවත්කම දන්නේ කවරෙක් ද? ඔබේ උදහසින් වන භීතිය කාට තේරුම්ගත හැක්කේ ද?
12දිවි පෙවෙත කොතරම් ලුහුඬු ද කියා වටහා දුන මැනව. මෙය මෙනෙහි කරන පිණිස නැණවත් සිතක් අපට දුන මැනව.
13සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව. ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව.
14උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු. දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු.
15අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව.
16ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව.
17අප දෙවිඳුන්ගේ කරුණාව අප කෙරෙහි බැබළේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට පැමිණේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට ම පැමිණේ වා!